26th May 2024 18:14:33 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම මත 51 පාබල සේනාංකය වෙතින් 2024 මැයි මස 23 ට යෙදුනු වෙසක් පුන් පොහෝ දිනයේදී ශ්‍රී නාග විහාරස්ථාන පරිශ්‍රයේදී වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සිංහල හා දමිළ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති මෙම වෙසක් කලාපය 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ආරාධනයකට අනුව ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් විවෘත කරනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඉලංගෝවන් මහතා, යාපනය වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා, යාපනය නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා, ත්‍රිවිධ හමුදා හා පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වූහ.
51 පාබල සේනාංකයේ භටපිරිස් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්ගේ සහයෝගය මත ශ්‍රී නාග විහාරස්ථානය අභියස පිහිටි ආරියකුලම් වැව් පරිශ්‍රයේදී වර්ණවත් කැරකෙන වෙසක් කූඩු ප්‍රදර්ශනය කරනු ලැබීය.
51 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් වෙසක් දන්සැලක් සංවිධානය කරනු ලැබූ අතර ඒ සඳහා ප්‍රදේශවාසී සැදැහැවතුන් 4000 කට අධික පිරිසක් සහභාගී විය.
මීට සමගාමීව, 512 පාබල බලසේනාව වෙතින් එම බලසේනාවේ භටපිරිස්හී සහභාගීත්වයෙන් නෙස්කැෆේ දන්සලක් පැවැත්වීය.
ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සංකේතවත් කරමින් යුද්ධ, නාවික, ගුවන් හමුදාවන් සහ පොලිස් භක්ති ගී කණ්ඩායම්වල සහභාගිත්වයෙන් වෙසක් බැති ගී වැඩසටහනක් ද පවත්වන ලදී.