Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2016 10:39:16 Hours

විශේෂ බලකා අභිත විරුවන් හට ආර්ඩබ්පි සහ ආර්එස්පි පදක්කම් ප්‍රදානය කෙරේ

මව්බිම වෙනුවෙන් විශේෂ බලකා භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් සඳුදා (22) දින මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

එහිදි විශේෂ බලකා රණවිරුවන් 455 ක් වෙත ඔවුන්ගේ සේවය අගයමින් රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කෙරිනි.

විශේෂ බලකා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ පැවති නිහඩතාවයක් පවත්වා එදින පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල ආරම්භ කරනු ලැබීය.

ප්‍රථමයෙන් රණ වික්‍රම පදක්කම හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් හට පිරිනැමු අතර, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා මෙම පදක්කම පිරිනමන ලදි.

ඉන් අනතුරුව රණ ශුර පදක්කම පිරිනැමිම සිදු කළ අතර, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම පදක්කම පිරිනමනු ලැබේ.

තවද ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උත්සවය අමතා පදක්කම්ලාභී අභිත විරුවන් හට සිය සුභ පැතුම් ද එක් කරන ලදි. ඉන් අනතුරුව, ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනය කෙරිනි.

මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.

ජාතික ගීය ගායනා කිරීමත් සමඟින් එදින වැඩසටහන අවසන් විය.

විශේෂ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.පි. රණසිංහ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest jordans | adidas Yeezy Boost 700 , Ietp