Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd June 2022 19:16:26 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවේ වසර 33 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන බ්‍රහස්පතින්දා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස විවිධ තනතුරු හොබවමින් කැපවීමෙන් හා ආදර්ශමත් සේවයක නිරත වීම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය. එමෙන්ම, වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී එතුමන් වෙත පැවරුණු අභියෝගාත්මක කාර්යභාරයන් මැනවින් ඉටුකිරීම පිළිබඳව ද එහිදී සිහිපත් කරන ලදි.

වසර 33 ක සේවා කාලය තුළ මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන යුද්ධ හමුදාව තුල විවිධ තනතුරු හෙබවීමේදී ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය මෙන්ම එම ධූරයන් හෙබවීමේදී එතුමන් කැපී පෙනෙන ලෙස කටයුතු කළ ආකාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම හමුවේදී පැසසුමට ලක්කළේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය.

සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම සුහද හමුව සඳහා මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන ගේ භාර්යාව වන එන්.කේ. සුජීවා ප්‍රියදර්ශනී මහත්මිය, දියණිය හා පුතනුවන් ද සහභාගී වූහ.

ද්විතීයික අධ්‍යාපනය අවසන් කළ එතුමන් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 11 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව වෙත ඇතුලත් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන වර්ෂ 1990 අප්‍රේල් මස 30 දින 5 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.

මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන සිය සේවා කාලය තුලදී 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ බුද්ධි නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (පුහුණු), 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ, 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කණ්ඩායම් භාර නිලධාරි, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නිලධාරි, 142 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 57 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල් පුහුණු සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

යුද පිටියේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන රණ ශූර පදක්කමෙන්ද (RSP) පිදුම් ලබා ඇත. ඊට අමතරව, එතුමන් වෙත කාර්යක්‍ෂම සේවා පදක්කම ද (KSP) පිරිනමා ඇත.