21st April 2025 11:08:31 Hours
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා, 2025 අප්‍රේල් මස 21 දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
මේජර් ජෙනරාල් වී.ඩී.එස්. පෙරේරා වර්ෂ 1990 නොවැම්බර් මස 03 දින කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 08 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත්වන ලදී. රත්මලාන, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 අප්‍රේල් මස 23 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් සේවා කාලය තුළ 7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩ භාර නිලධාරි හා නිලධාරි අණදෙන, 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරි අණදෙන, 211 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරී III (පාලන සහ භටකාර්ය සම්පාදන), කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ උපදේශක, 4 ආධාරක බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ දෙවන අණදෙන නිලධාරි, උසස් පාබල කණ්ඩායම් පුහුණු පාසල කිලිනොච්චිය ප්‍රධාන උපදේශක, 51 පාබල සේනාංකයේ කාර්යයේ නියුක්ත මාණ්ඩලික නිලධාරි 1 (පාලන), 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි, 68 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 574 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 573 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 642 පාබල බලසේනාවේ බලසේනාධිපති, 533 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික), ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ (හමුදා සම්බන්ධීකරණ), 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
සිය හමුදා දිවිය තුළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂණ පාඨමාලාව (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සංවිධානය කරන ලද), තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, Officers all Arms Field Engineering and Watermanship පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම යුද්ධ හමුදා දිවිය තුළ දී ඔරියන්ට් ඇකඩමි ලිමිටඩ් ආයතනය විසින් පවත්වනු ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, IDM පරිගණක අධ්‍යයන (පුද්ගලික) ආයතනය මගින් පවත්වනු ලැබූ පරිගණක යෙදුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, ඉන්දියාවේ දේවි අහිල්යා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ කලා උපාධිය (ආරක්ෂක අධ්‍යයන) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළු උසස් අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් ලබා ඇත.