Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2023 20:05:07 Hours

වන්නි භටපිරිස් සම්බන්ධීකරණයෙන් ගැබිණි කාන්තාවන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරයි

පොසොන් පොහොය දිනයේ වැදගත්කම සිහිපත් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘තායිවානි ථෙරවාදී සමාධි බෞද්ධ සංවිධානයේ’ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටනක් පසුගිය සෙනසුරාදා (03) දිනට යෙදී තිබූ පොසොන් පොහොයදා ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ එම ප්‍රදේශයේ ගැබිණි කාන්තාවන් 140 දෙනෙකු අතර එම අත්‍යාවශ්‍ය ළදරු භාණ්ඩ බෙදාදුන් අතර, එහි රු.25,000.00 ක වටිනාකමකින් යුත් අලුත උපන් බිළිඳුන් සහ ගර්භනී කාන්තාවන්ගේ ප්‍රයෝජනයට අත්‍යවශ්‍ය භාණ්ඩ 21 ක් ඇතුලත් පාර්සල් බෙදාදෙන ලදී.

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව නාගානන්ද විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ තායිවානයේ තායිවානි ථෙරවාදී සමාධි බෞද්ධ සංවිධානයේ සභාපති ආචාර්ය බෝදාගම චන්දිම හිමි වැඩසටහන සංවිධානය කරන ලදී.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති බෞද්ධ ආගමික වතාවත්වලින් අනතුරුව ප්‍රතිලාභිනියන් සහ පැමිණ සිටි පිරිසට ආශිර්වාද එක් කිරීමෙන් අනතුරුව භාණ්ඩ බෙදාදීම සිදු විය. මෙම අවස්ථාවට තායිවානි ථෙරවාදී සමාධි බෞද්ධ සංවිධානයේ තායිවාන ජාතිකයන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ ප්‍රතිලාභිනියන් ඔවුන්ගේ ඥාතීන් සමඟ පැමිණ සිටියහ.

වැඩසටහන අවසානයේ සියලුම ගැබිණි කාන්තාවන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ලබාදුන් අතර, මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.