19th December 2023 00:28:00 Hours
ආපදා සහන සේවා සැපයීම සඳහා දිවයින පුරා සිටින යුද්ධ හමුදා භටපිරිස් සූදානමින් සිටින අතර, ගත වූ පැය 48 තුල වන්නි, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශවලට ඇති වූ දැඩි වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය අඛණ්ඩව පැවතීමත් සමඟ යුද්ධ හමුදා භටපිරිස් සඳුදා (දෙසැම්බර් මස 18) දින සවස් කාලයේ සිට ගංවතුර සහන ආපදා හදිසි මෙහෙයුම්වල කටයුතු සඳහා සූදානමින් සිටිති.
පෙරියපණ්ඩිවිරිච්චාන් වැවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පෙරියපණ්ඩිවිරිච්චාන් නැඟෙනහිර ප්‍රදේශය දැඩි ගංවතුර තත්ත්වයකට ලක් වීමෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සඳහාද බාධා ඇති විය. අනතුරුව, 542 පාබල බලසේනාවේ සහ 4 ගජබා රෙජිමේන්තු භටපිරිස් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින මඩු ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයන්හි අවතැන්ව සිටි සිවිල් වැසියන් 73 දෙනෙකුට අධික පිරිසක් මුදාගෙන ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කළහ.
මේ අතර, තිරප්පනේ, මනම්පේරියාව වැව් බැම්මේ ජල කාන්දුවක් ඇති බවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් වෙත දැනුම් දීමෙන් පසුව ඔවුන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 17) දින කඩිනමින් එම අලුත්වැඩියා කටයුතු සඳහා සහභාගී වූහ. එහිදී භටපිරිස් සිවිල් වැසියන්ගේ සහාය ද ඇතිව වැලි කොට්ට අතුරා ඛාදනය වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබිණි.
7 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් පැය කිහිපයක් ඇතුලත මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබූහ. මනම්පේරියාව වැව් බැම්මේ ජල කාන්දුව හේතුවෙන් යම් ව්‍යසනයක් සිදුවුයේ නම් අඹතලේ ප්‍රදේශයන්හි ජීවත්වන ගම්වාසීන්ට දැඩි හානි සිදුවීමට ඉඩ තිබුණි.
4 ගජබා රෙජිමේන්තු භටපිරිස් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින සවස පෙරියපණ්ඩිවිරිච්චාන් වැව් බැම්මට හානි වී තිබූ කොටසක් පිළිසකරන ලදී. නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 17 දෙනෙකුගෙන් භටපිරිසක් කෙටි කාලයක් තුළ එම අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබූ අතර, එම නිසා සිදුවීමට ගිය විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි විය.
මෙම හදිසි සහන සේවා මෙහෙයුම් කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පිඑස්සී සහ 542 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී.එල්.එම් චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබූ අතර, 7 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 4 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් ගේ මූලිකත්වයෙන් සහන සේවා කටයුතු දියත් කළහ.