24th March 2025 17:10:13 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2025 මාර්තු මස 22 දින ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමූහ.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනැමූහ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක භට කණ්ඩායමේ සම්මාන පෙළපාලිය පරික්‍ෂා කරනු ලැබීය.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරීන් සඳහා එම ආරක්‍ෂක භට කණ්ඩායමේ සූදානම සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි වෙත ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ගජබා රෙජිමේන්තු ධජය හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමන ලදී.
16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම, යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරින් 11 දෙනෙකු සහ සෙසුනිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 125 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එම භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc කටයුතු කරනු ලබයි. එමෙන්ම, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් බී.එම්.ඒ.අයි.යූ ඔබයසේන USP psc එම කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරනු ලබයි.
ඉන් අනතුරුව, 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සිදුකිරීමේදී එක්සත් ජාතීන්ගේ නීති රෙගුලාසි, යුද්ධ හමුදා පනත, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලික හර පද්ධතිය පිළිපැදීමේ වැදගත්කම මෙන්ම රටට සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත මෙවැනි විදේශ මෙහෙයුම්වල ඇති වැදගත්කම පිළිබඳව ද පෙන්වා දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්ති නාමයට කැළලක් වන පරිදි සමාජයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නියැලෙන, නිවාඩු නොමැතිව සේවයට නොපැමිණෙන අයවළුන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එතුමන් මෙහිදී අවධාරණය කළේය.
පසුව, 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනීසිටි යුද්ධ හමුදාධිපතිතුමන් එම භට කණ්ඩායමේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.
උත්සවය සමාප්තියේ, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්වූහ.