Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2023 21:19:14 Hours

රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) තුන්වන පාඨමාලාව සාර්ථකව අවසන්

රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලා අංක - 3 සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයින් 49 දෙනෙකු සහභාගී වූ අතර පාඨමාලාව දින 14ක් පවත්වන ලදී. මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේදී 2023 මාර්තු 27 වැනි දින පැවැති උත්සවයකදී ඔවුන් විසිර ගියහ.

සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා සහතිකපත් ප්‍රදානය කළේය. එහිදි එතුමන් විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය ද පවත්වන ලදී.

ඉන්දියානු රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ ජංගම පුහුණු කණ්ඩායමේ උපදේශකවරුන්ගේ මගපෙන්වීම යටතේ න්‍යායාත්මක, තාක්ෂණික සහ ප්‍රායෝගික සැසි, හඳුනාගැනීමේ උපකරණ හැසිරවීම, අනතුරු ඇඟවීම් සහ සිදුවීම් ප්‍රතිචාර පද්ධති, ගලවාගැනීමේ සහ මුදවාගැනීමේ අභ්‍යාස සහ රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ ආපදා කළමනාකරණය යන අංගයන්ගෙන් සමන්විත මෙම පාඨමාලාව තුළින් දැනුම, කුසලතා සහ වැඩිදියුණු කිරීමට හැකිවන අතර, විපතකදී හෝ හදිසි අනතුරකදී රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික හැසිරවීමේ නිපුණතාවය සහ මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන ඕනෑම ආකාරයක රසායනික ප්‍රහාරයක් හෝ වෙනත් අනතුරක් වළක්වාගැනීම වෙනුවෙන් ඊට අදාළ සියලුම පාර්ශවකරුවන් පුහුණු කිරිමේ අරමුණ ප්‍රධාන කරගනිමින් මෙම පාඨමාලාව ආරම්භ කර තිබිණි.

මෙම පුහුණු අභ්‍යාසය 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN), ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සලය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 2/ලුතිනන් එම්.සී විමලවර්ධන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ මූලික පාඨමාලා අංක -3 හි කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ඇගයීමට ලක් විය.