Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2016 08:34:25 Hours

යුද හමුදාවට ආශිර්වාද පැතීමේ අවසන් ආගමික වැඩසටහන පනාගොඩ බෝධිරාජාරාමයේ දී

යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.

මෙහි දී යුද හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්තන ශිල්පීන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවනු ලැබූ අතර, යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා දැහැත් වට්ටිය පිළිගන්වා මහා සංඝරත්නය වෙත පසුදා (09) උදෑසන වන තෙක් පිරිත් සජ්ජායනා කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය.

එහිදි ගංගාරාමයේ පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ විසින් මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ අනුශාසනාවක් පවත්වා, කීර්තිමත් යුද හමුදා ඉතිහාසය සිහිපත් කරමින් යුද හමුදාවට ආශිර්වාද කළ අතර, ජාතියේ ආරක්ෂකයා ලෙස ඉදිරියේ දී යුද හමුදාව විසින් සිදු කරන කාර්යයන් වෙනුවෙන් ද ආශීර්වාද කළහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ ආරාධනයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මැතිනිය මෙන්ම යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. ඒ අනුව මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සියලු නිලයන් 1000 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

ප්‍රධාන මාණ්ඩලික නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ සභාපති මෙන්ම එහි සාමාජිකයින් සහ අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් මෙම පිංකම් මාලාව සඳහා සහභාගි වූහ.

එමෙන්ම ඉරිදා (09) දින මහා සංඝරත්නයේ 67 නමක් විශයෙහිලා හීල් දානමය පිංකමක් ද පවත්වමින් සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ ආගමික වතාවත් නිමා කරනු ලැබීය.

jordan Sneakers | Air Jordan