Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2022 13:56:01 Hours

යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ විශේෂ ඉස්ලාමීය ආගමික වැඩසටහනක්

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් අද (26) දින උදෑසන කොල්ලුපිටිය ජුම්මා ඉස්ලාමීය පල්ලියේදී පැවැත්විණි. එහිදී, යුද්ධ හමුදා මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් ඉස්ලාමීය ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක් කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් අෂ්කර් මුතාලිෆ්, එම සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් පිරෝෂ් ජලාල්, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ ලේකම් ඇතුළු සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

ඉන් අනතුරුව, ත්‍රිවිධ භාෂා මගින් සිදුකළ පිළිගැනීමේ දේශනයේදී යුද්ධ හමුදා සංවත්සර සැමරුම් වෙනුවෙන් ඉස්ලාමීය ආගමික යාඥාවේ වැදගත්කම ප්‍රධාන පූජකවරුන් (මෞලවි) විසින් පැහැදිලි කර දුන් අතර, ආගමික සම්ප්‍රදායානුකුලව සැරසු පල්ලිය තුල යාඥා මෙහෙයන් ආරම්භ කරන ලදී.

රටේ අභීවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද අපරිමිත මෙහෙය අගයමින් ඉස්ලාමීය ආගමික චාරිත්‍රානුකූල ‘බයාන්’ (Bayan) ආගමික දේශනය පවත්වමින් යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කරන ලද අතර, අනතුරුව මවුලවිතුමන් විසින් ‘කිරාත්’ (Qirath) සහ ‘දුආ’ (Dua) යන විශේෂ ආශිර්වාද යාඥාවන් පවත්වමින් යුද්ධ හමුදාවට ආශිර්වාද එක් කරන ලදී.

ආගමික උත්සවය අවසානයේදී ඉස්ලාමීය පූජනීය සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකල යුද්ධ හමුදාධිපතිතුමන්, රට තුළ පවතින සහජීවනය, සමගිය සහ සංහිඳියාව පිළිබඳව යුද්ධ හමුදාවේ ඉදිරි දැක්ම පිලිබඳවද මවුලවිතුමන්ලා සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදා මුස්ලිම් සංගමය මගින් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාවට සිවිල් ඉස්ලාම් භක්තික බැතිමතුන් සමඟින් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ඉස්ලාම් භක්තික සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගී වූහ.

ආගමික උත්සවය අවසානයේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති වෙත සුහදත්වයේ සංකේතයක් ලෙස සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

එහිදී, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති අල්-හජ් මොහොමඩ් මවුලවීතුමන්, භාරකාර මණ්ඩලය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කල අතර, භාරකාර මණ්ඩලයේ ලේකම් අල්-හජ් අයි.එස් හමීඩ් මවුලවීතුමන්, ශුද්ධ වූ අල් කුර්ආනයේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කළේය.

මෙම ආගමික උත්සවය 73 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබු තෙවන ආගමික උත්සවය වන අතර, යුද්ධ හමුදාවට සහ ධජයන්ට ආශිර්වාද එක්කරමින් කතරගම කිරිවෙහෙර පුදබිමේ සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමේ ආගමික උත්සවයන් පසුගියදා පැවැත්විණි.

මෙම ආගමික උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.