05th August 2023 06:27:26 Hours
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ විෂය මාලාවේ කොටසක් ලෙස පසුගිය සෙනසුරාදා (ජූලි මස 29) දින අම්පාර සටන් පුහුණු පාසලේ අධ්‍යයන චාරිකාවක නිරත විය. ශිෂ්‍ය නිලධාරීන් කණ්ඩායම අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් පිළිගන්නා ලද අතර, අනතුරුව ඔවුන් වෙත යුද්ධ හමුදා අවමංගල්‍ය උත්සවයක සරඹ පිළිවෙත්, ආරක්ෂක මුර හා සම්මාන මුරයන්හිදී සිදුකරනු ලබන සරඹ පිළිවෙත් පිළිබඳ නිදර්ශණයන් නැරඹීමට අවස්ථාව හිමිවිය.
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කර්නල් ටී.ඩබ්ලිව්.ජී.ඩී.එම් අමරසිංහ ආර්ඩබ්ලිව්පී පීඑස්සී සහ අම්පාර සටන් පුහුණු පාසලේ උපදේශකවරුන් 04 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම සරඹ නිදර්ශණයන් පැවැත්වූහ. සංචාරයේ නිරත ශිෂ්‍ය නිලධාරීන් කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායකතුමන් වෙත සමරු තිළිණ ප්රදානයක්ද සිදුකරන ලදී.