Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2023 10:47:05 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි මැදිහත්වීමෙන් හන්තාන කඳුවැටියේ අතරමං වූ උපාධි අපේක්‍ෂකයින් පිරිසක් බේරාගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 111 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙක් සහ සෙසුනිලයන් 34 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මහනුවර ප්‍රදේශයේ පිහිටි හන්තාන කඳුවැටියේ සංචාරයක නිරතව සිටියදී අතරමං වූ උපාධි අපේක්‍ෂකයින් 183 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සොයා පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 02) දින සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.

183 දෙනෙකුගෙන් යුත් මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩාය‍ම හන්තාන කඳුවැටිය තරණය කරමින් සිටියදී පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔවුන්ට නැවත පැමිණීමට මාර්ගය සොයාගැනීමට අපහසු වී තිබිණි.

මහනුවර පොලිසිය විසින් සිදුකරනු ලැබූ දැනුම්දීමකට අනුව 39 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා මුදවාගැනීමේ කණ්ඩායමක් පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හන්තාන කඳුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබූහ.

යුද්ධ හමුදා මුදවාගැනීමේ කණ්ඩායම ඉරිදා දින අලුයම 0400 ට පමණ අතරමං වූ සිසුන් පිරිස සොයාගැනීමට සමත් වූහ.

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුදවාගැනීමේ කණ්ඩායම පැය හයක පමණ කාලසීමාවක් පුරාවට සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව එම සිසු සිසුවියන් ආරක්‍ෂිතව රැගෙන ඒමට සමත් වූ අතර, මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් ද සහයෝගය දැක්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාප‍ති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 111 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් මෙම මෙහෙයුමේ සම්බන්ධීකරණ සහ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය.