Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2023 22:16:41 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාල පරිශ්‍රයේ ආබාධිත බැතිමතුන්ට විශේෂ ගමන් මාර්ගයක් ඉදිකෙරේ

රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාල පරිශ්‍රයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ආබාධිත පුද්ගලයින් සහ බැතිමතුන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ විශේෂ ගමන් මාර්ගය විවෘත කිරීමේ උත්සවය පසුගිය ඉරිදා (23) දින පැවති අතර එම උත්සව අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

බස්නායක නිලමේවරයාගේ සහ ශ්‍රී සුමන සමන් දේවාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 6 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාස දෙකකට අඩු කාලසීමාවක් තුළ අඩි 265 ක දිගකින් සමන්විත මෙම විශේෂ ගමන් මාර්ගය ඉදිකරන ලදී. යුද්ධ හමුදා භටපිරිස් හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත ඉදිකරනු ලැබූ විශේෂ ගමන් මාර්ගය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා රත්නපුර දිස්ත්‍රික් ජාත්‍යාන්තර සිංහ සමාපයේ 306 සී/2 වෙතින් අනුග්‍රාහකත්වය දැක්වීය.

භටපිරිස් විසින් ටයිල් අතුරා ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් ‘බෝධි මළුව’ වටා අත්වැටක් සහිත විශේෂ විශේෂ ගමන් මාර්ගයක් ද ඉදිකරනු ලැබීය.

සමන් දේවාල බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා යුද්ධ හමුදාවේ තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබීය. මෙම ඉදිකිරීම් කටයුතු 6 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත සිදුකෙරිණි.

උත්සවය අතරතුර, සාගල රත්නායක මහතා සහ රත්නපුර ජාත්‍යන්තර සිංහ සමාජයේ නිලධාරීන් අදහස් හුවමාරු කරගනිමින් යුද්ධ හමුදා භටපිරිස් සිදුකරනු ලැබූ කාර්යභාරය ඇගයීමට ලක්කළහ. මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම පැසසුමට ලක්කරමින් ශ්‍රී සුමන සමන් දේවාල බලධාරීන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකරනු ලැබීය.

සංකේතාත්මක සමරු ඵලකය නිරාවරණය කර මෙම විශේෂ ගමන් මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාවේ රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිපදෙනෙකු එම ගමන් මාර්ගය ඔස්සේ ශ්‍රී සුමන සමන් දේවාලය වැඳපුදාගැනීම සඳහා එම මාර්ගය ඔස්සේ පැමිණියහ.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, රත්නපුර ජාත්‍යාන්තර සිංහ සමාජයේ සාමාජිකයින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.