05th December 2023 19:04:48 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ‘බේකරි නිෂ්පාදනය’ පිළිබඳව එම රෙජිමේන්තුවේ භටපිරිස් දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 28) දින සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා බේකරි නිෂ්පාදන පිළිබඳ දැනුම ලබාදීමට සහ ඔවුන් විශ්‍රාම යාමෙන් පසු හෝ වෙනත් ආකාරයකින් පුහුණු / දක්ෂ බේකරි ශිල්පීන් ලෙස කටයුතු කිරීමට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම මෙම වැඩමුළු පැවැත්වීමේ ප්‍රධාන පරමාර්ථය විය.
‘Prima Ceylon (Private) Limited’ හි බේකරි අංශයේ සේවා කළමනාකරු හේමන්ත කරුණාරත්න සහ වසර 15 කට වැඩි කාලයක් පුද්ගලික අංශයේ බේකරි ක්ෂේත්‍ර පිළිබඳව පළපුරුද්දක් ඇති අසේල නාමල් බණ්ඩාර යන මහත්වරුන් විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
වැඩමුළුවේදී සම්පත් දායකයින් විසින් බේකරි ක්ෂේත්‍රයේ අත්දැකීම් සමඟින් තම දැනුම සහභාගී වූවන් සමගින් බෙදාගත් අතර, මෙම ක්ෂේත්‍රයේ නියැලීමේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් විශ්‍රාම ගැනීමෙන් පසුව බේකරි ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදාකර ගැනීමට අවශ්‍ය දිරිගැන්වීම් සහ උපදෙස් ලබාදුන්හ.
යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය යටතේ ඇති ඒකකයන්හි බේකරි නිෂ්පාදන කටයුතු සිදුකරන නිලධාරීන් 02 දෙනෙකු සහ කොමිෂන් නොලත් නිලධාරීන් 18 දෙනෙකු මෙම පුහුණු වැඩමුළුවට සහභාගී වූහ. පුහුණු වැඩමුළුව මගින් උසස් තත්ත්වයේ බේකරි නිෂ්පාදන සැපයීම සඳහා බේකරි මිශ්‍රණ සකස් කිරීම, අමුද්‍රව්‍ය හා උපකරණ භාවිතය, ශිල්පීය ක්‍රම සහ නිමා කිරීම ආදිය පිළිබඳව දැනුවත් කරනු ලැබීය.
වැඩමුළුව අවසානයේ දී, බේකරි ආහාර නිෂ්පාදනය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් සහභාගී වූ කාර්යය මණ්ඩලය වෙත දැනුවත් කරන ලද අතර, එම ක්ෂේත්‍රය පිළිබඳ සම්පත් දායකයින්ගේ අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමට ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වන ලදී.