Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2023 08:50:47 Hours

යුද්ධ හමුදාව සම්බන්ධීකරණයෙන් වැලිඔය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ට අභ්‍යාස පොත්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන පාබල සේනාංකයේ 622 වන බලසේනා බලප්‍රදේශයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම්වල මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ‘අත හිත’ සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියර යටතේ පෙබරවාරි මස 27 දින 1 වන ශ්‍රේණියේ නවක පාසල් සිසු සිසුවියන් සඳහා අභ්‍යාස පොත් පාර්සල් බෙදා දෙන ලදී. වැඩසටහන යටතේ වැලිඔය සහ පදවි - ශ්‍රීපුර අධ්‍යාපන කලාපවල පාසල් 14 කට අයත් 1 වන ශ්‍රේණියේ නවක පාසල් සිසු සිසුවියන් 300 දෙනෙකු සඳහා රුපියල් 900,000.00 වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් පාර්සල් 300 ක් බෙදා දුන් අතර, උත්සවය ආරම්භයේදී තෝරාගත් පාසල් තුනක් සඳහා අභ්‍යාස පොත් පාර්සල් බෙදා දෙන ලදී.

62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ ගේ උපදෙස් මත 622 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉනොජ් හේරත්ගේ අධීක්ෂණය සහ යටතේ 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සේනක මුණසිංහ සහ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදු කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කරන ලද ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ආදි ශිෂ්‍ය සංගම්හි නියෝජිතයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පාසල් විදුහල්පතිවරුන්, සිසු සිසුවියන් සමඟින් පාසල් කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.