Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2022 18:14:07 Hours

යුද්ධ හමුදාව ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට ‘කොප්පරා’ පූජා කරති

ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යයට ගෞරවයක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 9 වන වරටත් කොප්පරා ටොන් 15 ක ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අද (29) දින පැවැත්වූ උත්සවයකදී දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා වෙත පිළිගන්වන ලදී.

කුරුණෑගල, බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පුරාණ ආගමික වත්පිළිවෙත් හා පැරණි සම්ප්‍රදායන්ට අනුකූලව සෑම වසරක් පාසාම ඇසළ පෙරහැර වෙනුවෙන් කොප්පරා පූජා කරනු ලබයි. ඒ අනුව ඉපැරණි සම්ප්‍රධායන්ට අනුකූලව සම්පූර්ණ දළදා පෙරහැරේ ආලෝකමත් කිරීම සඳහා පෙරහැරේ පන්දම් රැගෙන යන්නන්ට නොකඩවා කොප්පරා සම්පාදනය කරන ලදී.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සහ සම්ප්‍රදායික තේවා චාරිත්‍රවලින් අනතුරුව, කොප්පරා බහාලුමක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන් වෙත සංකේතාත්මකව පිරිනැමීය.

බෞද්ධ කොඩි සහ නෙළුම් මල් වට්ටි රැගත් යුද්ධ හමුදා භටපිරිස් විසින් සැදුම්ලත් අංලකාරවත් වූ පෙරහැරකින් කොප්පරා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත රැගෙන ආ අතර, ඉන් අනතුරුව දියවඩන නිලමේතුමන් විසින් එම උතුම් වූ පිංකම වෙනුවෙන් සහභාගී වූ යුද්ධ හමුදාපතිතුමන් වෙත සමන්පිච්ච මල් බන්දේසියක් පිළිගැන්වීමෙන් අනතුරුව දියවඩන නිලමේතුමන්ගේ නිල කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී.

කොප්පරා තොගය ශ්‍රී දළදා මාලිගාවෙත භාරදීමෙන් අනතුරුව, බෞද්ධ කෞතුකාගාර කාර්යාලය තුළ දියවඩන නිලමේතුමාගේ සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි සුහද හමුවේදී ඉදිරියේදී ඇසළ පෙරහැර පැවැත්වීම, එහි ආරක්‍ෂක වැඩපිළිවෙල සහ අනෙකුත් වැදගත් වූ කරුණු පිළිබඳව අදහස් කිහිපයක් හුවමාරු කර ගන්නා ලදී. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම අගය කළ අතර, තවද කොප්පරා සැකසීමේ කටයුතු වලට සම්බන්ධ වූ සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙතද සිය කෘතඥතාව පළ කළේය.

අනතුරුව දියවඩන නිලමේතුමා විසින් යුද්ධ හමුදාවේ රණවිරුවන් නොකඩවා සිදුකරනු ලබන මෙම රණවිරු උත්තම සේවා පූජාව අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, එ් සඳහා දායක වූ භටපිරිස්හි කාර්යභාර්යද අගය කළේය.

ඒ අනුව වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වීමට දින කිහිපයකට පෙර සිදුකරනු ලබන මෙම කොප්පරා පූජාව, ශ්‍රී ලංකාව පාලනය කරන ලද රජවරුන් සහ රාජ්‍ය නායකයින් විසින් පරම්පරා ගණනාවක් මුළුල්ලේ ආරක්‍ෂා කරගනිමින් ජීවමාන බුදුන් ලෙස සලකන උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ලබන අති උතුම් පූජාවක් ලෙස සලකනු ලබයි. යුද්ධ හමුදාව විසින් සියලුම දේවාලවල පෙරහැරවල් ආලෝකමත් කිරීම සඳහා සකස් කරන ලද කොප්පරා පූජා කරනු ලබයි.

වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යයට ගෞරවයක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා වර්ෂ 2014 සිට කුරුණෑගල, බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොප්පරා පූජා කරනු ලබති. වාර්ෂික ඇසළ පෙරහැර පුරා ආලෝකය සහ නැවුම්බව පවත්වාගැනීමේ අරමුණින් බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් හි කැපවීම මත පුරා වරසක් මුළුල්ලේ සිටම පොල් වියළීම ආරම්භ කරනු ලැබේ.

මෙම උතුම් පිංකම සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.