Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2021 16:00:54 Hours

යුද්ධ හමුදාව ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත කෘෂිකාර්මික ව්‍යාපෘතීන් මල්ඵල ගැන්වේ

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපල සහ යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි කෘෂිකර්ම ව්‍යාපෘතීන් ආරම්භ කර පවත්වාගන යනු ලබයි. ඒ අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් හා මඟපෙන්වීම මත යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් දියත් කරන ලදී.

නිත්‍ය බලඇණි 1 කින් සහ ස්වේච්ඡා බලඇණි 3 කින් මෙන්ම කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විත යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අගොස්තු මාසය වන විට වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් නිලධාරීන් 76 ක් සහ සෙසු නිලයින් 1675 දෙනෙකු රාජකාරී සිදුකරනු ලබයි. ඒ අනුව මේවන විට යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය අක්කර 8,500 ක පමණ භූමි ප්‍රමාණයක වී, අඹ, පොල්, එලවළු වර්ග, පලතුරු, තල, බඩ ඉරිඟු, උඳු සහ කහ ආදිය වගා කර ඇත.

ඒ අනුව, වර්ෂ 2020 ජනවාරි මස 7 වන දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකායේ භටපිරිස් ආඩියාපුලියන්කුලම්හි අක්කර 200 ක මිරිස් වගා ව්‍යාපෘතිය, යුද්ධ හමුදා ගොවිපල - මැණික්ෆාම් බීජ අක්කර 50 ක්, කන්දකාඩු අක්කර 100 ක්, මැණික්ෆාම් පොල් අක්කර 300 ක්, ආඩියාපුලියන්කුලම, කන්දකාඩු, බලල්ල, පුත්තලම සහ යාල පැල 19,500 ක්, අක්කර 500 ක අඹ පැල 19, 800 ක්, යුද්ධ හමුදා ගොවිපල තුළ කහ අක්කර 20 ක්, මැණික්ෆාම් ගොවිපලෙහි දෙමුහුන් තිරිඟු බීජ අක්කර 25 ක් සහ තල අක්කර 50 ක් වගා කර ඇති අතර, මේ සඳහා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා ගොවිපලවල්හී රාජකාරි කරනු ලබන භටපිරිස් සඳහා අවශ්‍ය වැඩිදුර කෘෂිකාර්මික උපදෙස් ලබාදෙයි.

මේ අතර, ස්වකීය ගෘහස්ත පරිභෝජනය සඳහා සහල් නිෂ්පාදනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා භටපිරිස් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අවට, කන්දකාඩු ගොවිපල සහ මැණික්ෆාම් ගොවිපලේ සෑම කන්නයකම වී වගා කරනු ලබන අතර ඉන් කොටසක අස්වනු මේවන විටත් නෙලා ඇති අතර එම සහල් යුද්ධ හමුදා සේවා වනිනා ඒකක විසින් පවත්වාගෙන යනු ලබන සුභසාදන වෙළඳසැල් වෙතින් මිලදී ගැනීමට අවස්ථාව ඇත. මෙම සියලු වගා ව්‍යාපෘතීන් රසායනික හා පළිබෝධනාශක ද්‍රව්‍ය රහිතව සිදුකරනු ලබයි.

යුද්ධ හමුදාවේ පරිභෝජනය සඳහා වන බිත්තර අවශ්‍යතාවය සපුරාලීම සඳහා යුද්ධ හමුදා ගොවිපල ගල්කන්ද, නිරාවිය සහ බලල්ල යන ගොවිපලවල්වල 25,000 යුත් ලේයර් සත්ව පාළන ව්‍යාපෘතියක් මේවන විට ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන තවත් පුළුල් කරමින් බිත්තර කිකිළියන් 50,000 ක් දක්වා ව්‍යාප්ත කිරීමටද සැලසුම් කර ඇත. මෙම ගොවිපල වර්ෂ 2020 මැද භාගයේදී ආරම්භ කරන ලදී.

තවද, යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන ක්‍රියාන්විත/පුහුණු අභ්‍යාසය සඳහා ආනායනික කැලෑ සලාක මළු වෙනුවට යුද්ධ හමුදාව ගොවිපල කන්දකාඩු වෙතින් මේවන විට දේශීය කැලෑ සලාක මළු නිෂ්පාදනය කරනු ලබන අතර, එහි දෛනික නිෂ්පාදන ධාරීතාවය සලාක මළු 1000ක් පමණ වන අතර, ඉන් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමටද හැකියාව ලැබේ. ඒ හා සමානව, කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල වෙතින් දියර කිරි සඳහා කිරි මී එළදෙනුන් ඇති කරන අතර, එමගින් කල් කිරි සහ මී කිරි නිෂ්පාදනය සිදුකරයි. මෙම කිරි නිෂ්පාදන යුද්ධ හමුදා භටපිරිස්වල පරිභෝජනය සඳහා සියලුම යුද්ධ හමුදා සේවා වනිතා වෙළඳසැල් වෙත දිනපතා බෙදාහරිනු ලැබේ.

තවද, පලටුපාන ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ගොවිපල වෙතින් යුද්ධ හමුදාව වෙත අවශ්‍ය අයඩින් මිශ්‍ර ලුණ නිෂ්පාදනය ආරම්භ කර ඇත. මෙම අයඩින් මිශ්‍ර ලුණු ක්‍රිලෝග්‍රෑම් 1 සහ ග්‍රෑම් 400 පැකට් වශයෙන් නිෂ්පාදනය කරන අතර එම නිෂ්පාදන සඳහා ‘SLS’ සහතිකයද ලැබි ඇත. නිෂ්පාදනය කරනු ලබන ලුණු තොග යුද්ධ හමුදා කඳවුරු වෙත බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ලබාදී ඇත. තවද මෙම නිෂ්පාදන සහනදායි මිලකට යුද්ධ හමුදා භටපිරිස් අතර අළෙවී කරනු ලැබේ.

එසේම, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ‘තුරුමිතුරු නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව තුළ වන වගාවන්, විල්පත්තුව වන රක්ෂිත කලාපය ඇතුළු රට පුරා ජාතික රුක් රෝපණ ව්‍යාපෘතීන් දියත් කරන ලදී. සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් වාර්තාවන නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙමගින් හිතකර ප්‍රතිපලදායි බලපෑමක් ඇති කර ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියට දායකත්වය දක්වමින් යුද්ධ හමුදා භටපිරිස් යුද්ධ හමුදා කඳවුරු තුළ 2021 මහා කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික කොම්පොස්ට් පොහොර මෙට්ට්‍රික් ටොන් 2,500 නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබු අතර, එම කාබනික පොහොරවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා සාම්පලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදී.

තවද, යුද්ධ හමුදා භටපිරිස් මීමැසි පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා මී මැසි පාලන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඊට හිතකර දේශගුණික සාධක පවතින ප්‍රදේශයන්හී ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. තවද කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉදිරි මහ කන්නයේ යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන ගොවිපලවල් තුළ මුරුංගා, දිවුල්, දෙහි, සියඹලා සහ සියඹලා පැළ 35,000 ක් පමණ වගා කිරීමට ද සැලසුම් කර තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිරන්තර මාර්ගෝපදේශය යටතේ කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින් පවති. ආනයන සඳහා වන පිරිවැය අවම කිරීම, ස්වයං පරිභෝජනය සඳහා හැකි තාක් දුරට ස්වකීය නිෂ්පාදන එක් කිරීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා අදාළ කෘෂිකර්ම කටයුතු සහ නවීන තාක්‍ෂණ පිළිබඳ භටපිරිස් සවිබල ගැන්වීම සඳහා දිගු කාලීන හා කෙටි කාලීන පාඨමාලා කෘෂිකර්මාන්ත හා පශුසම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි. මෙම කෘෂිකර්ම ව්‍යාපෘති ඵලදායි ලෙස සිදුකිරීම සඳහා නිත්‍ය බලඇණි 1 ක් සහ ස්වේච්ඡා බලඇණි 3 ක භටපිරිස් යොදවා ඇත.