30th June 2023 21:47:38 Hours
යුද්ධ හමුදාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය මැඩපැවැත්වීමේ ක්‍රියාකාරී ප්රයත්නයක් ලෙස, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 553 පාබල බලසේනාව විසින් යාපනය ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන භටපිරිස් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් 55 පාබල සේනාංක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය බදාදා (28) දින සංවිධානය කරනු ලැබීය.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) සේවයේ නියුතු කීර්තිමත් උපදේශකවරුන් වන අමරනාත් තෙන්න සහ සම්පත් ද සේරම් යන මහත්වරුන් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ පෙරේරා ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.
මෙහිදී නවතම පර්යේෂණ සහ එම පර්යේෂණ වල ප්‍රථිපල පදනම් කරගනිමින් උපාය මාර්ගික ක්‍රම මගින් මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි ප්‍රථිපල පිළිබඳවත්, එමගින් ඇති වන ගැටළු වල සංකීර්ණ ස්වභාවය පිළිබඳවත් දැනුවත් කරනු ලැබීය. වැඩසටහන තුලින් මත්ද්‍රව්‍ය පිළිබඳව දැනුම ලබාදීම, භාවිතයෙන් වැලකීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යනාදී කරුණු යටතේ දේශණයන් සිදුකරන ලද අතර, ඒ සඳහා 55 පාබල සේනාංක බල ප්‍රදේශයේ භටපිරිස් 420 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.
වැඩසටහන මගින් භටපිරිස් සඳහා මත්ද්‍රව්‍ය භාවිතයේ ශාරීරික හා මානසික සෞඛ්‍ය අවදානම, නීතිමය බලපෑම සහ යුද්ධ හමුදාව කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම පිළිබඳ පුළුල් දැනුමක් ලබා දෙන ලදී.