Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2016 12:34:11 Hours

යාපනය අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 100 ඔවුන් අයිතියට

යුද හමුදා භට පිරිස්හි සුවිශේෂි දායකත්වයෙන් හා පුනරුත්ථාපනය වු එල්ටිටිඊ සමාජිකයින් සහ නිවාස ප්‍රතිලාභීන්ගේද සහයෝගය ඇතිව මාස 04 ක් වැනි කෙටි කාලසීමාවක් තුලදී අවතැන් වු ජනතාව වෙනුවෙන් යාපනය කීරමලේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබු නිවාස 100 අද (31) පස්වරුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස ලාභීන් වෙත පවරාදෙන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙරහැරකින් උත්සව සභාව වෙත පැමිණිමෙන් අනතුරුව නව කිරමලෙයි නිවාස සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරනය කරමින් සංකේතාත්මකව හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව කිරි ඉතිරවීම ආදිය සිදු කරමින් සම්ප්‍රදායානුකුලව එක් නිවසක් වෙත ගෙවදින ලදි. අනතුරුව, ජනාධිපතිතුමා සහ සම්භාවනීය අමුත්තන් විසින් මෙම නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කරන ලදි.

මෙහි පළමු පියවර වශයෙන් අවතැන් වූ පවුල් 971 ක් අතුරින් නිවාස 100 ක් එම පවුල් වෙත ලබාදුන් අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්විම යටතේ යාපනය අර්ධද්වීපය තුල පවතින සහන මධ්‍යස්ථාන 31 ක් අතුරින් මෙම පිරිස් තෝරාගන්නා ලදි.

මෙම උත්සවයෙන් අනතුරුව චිත්‍ර සහ අත්කම් ප්‍රදර්ශනය සඳහා සහභාගි වූ ළමුන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමිම ද ජනාධිපතිතුමා විසින් සිදු කෙරිනි. මෙහිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ජනාධිපතිතුමා සහ ආරාධිතයින් පිළිගත් අතර, ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව ජනාධිපතිතුමා විසින් කිරමලේ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමට සමගාමිව පලාලි යුද හමුදා ජනපදයේ තවත් අක්කර 454 ක භූමි ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බව ද ප්‍රකාශ කරන ලදි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු මාවෙයි සේනාධිරාජා මහතා සහ නිවාසලාභියෙකු විසින් මෙම උත්සව සභාව අමතන ලදි.

මෙම දැවන්ත කීරමලේ නිවාස ව්‍යාපෘතිය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාදයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මගපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මෙහි පළමු අදියර ක්‍රියාත්මක කළ අතර, කිරමලෙයි ප්‍රදේශයේ අක්කර 47 භුමි ප්‍රමාණයක මෙම නිවාස පිහිටා ඇත.

4 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, 3 වන ඉංජිනේරු සේවා බලකාය, 5 වන ඉංජිනේරු සේවා බලකාය, 9 වන ඉංජිනේරු සේවා බලකාය, 14 වන ඉංජිනේරු සේවා බලකාය සහ 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ අධික්ෂණය මත මෙම ව්‍යාපෘතිය රජයේ සංහිඳියාව හා සහජීවනය ක්‍රියාවලිය යටතේ 2016 ජුලි 11 වන දින ආරම්භ කරන ලදි.

මෙම ව්‍යාපෘතියේ සෑම ඉදිකිරීම් කණ්ඩායමකම එක් ප්‍රතිලාභීයෙක් සහ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයෙක් ඇතුලත් වන අතර, ඔවුන්ගේ ශ්‍රමදායකත්වය වෙනුවෙන් හින්දු ආගමික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදෙන අතර, යුද හමුදා සාමාජිකයින් 10 ක් ද මෙම කණ්ඩායමට ඇතුලත් වේ.

මෙහි එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 9 ක් වැය වූ අතර, හින්දු ආගමික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා එම මුදල් ලබාදෙන ලදි. අදාල සම්බන්ධීකරණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලදි.

මෙහි එක් නිවසක් වර්ග අඩි 540 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ඉදිකර ඇති අතර, නිදන කාමර දෙකක්, සාලයක්, භෝජනාගාර කාමරයක්, මුළුතැන්ගෙයක්, වැසිකිළි හා නාන කාමරයකින් සමන්විත වේ. එමෙන්ම මෙම නිවාස සංකීර්ණය ප්‍රජා ශාලවක්, ක්‍රීඩාපිටියක්, පෙර පාසලක්, මත්ස්‍ය වෙළඳසැලක්, පොලිස් මුරපොලක් සහ පානීය ජලය හා විදුලිය ආදි අවශ්‍යතාවලින් සමන්විත වේ.

කීරමලේ නිවාස ව්‍යාපෘති භුමිය සුද්ධ පවිත්‍ර කිරීම 2016 ජුනි 26 වන දින 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සිදු කළ අතර, එහි මැනුම් කටයුතු සහ කොටස් කිරීම් සිවල් අංශවල වෘත්තීකයින්ගේ සහායෙන් සිදු කෙරිනි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 යන සේනාංකහි සේනාංකාධිපතිවරුන් මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ සහයෝගය ලබාදුන් අතර, මෙහි ඊළඟ පියවර මෙම වසර අවසානයට පෙර ආරම්භ කිරිමට නියමිතය.

හින්දු ආගමික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ඩී.එම් ස්වාමිනාදන් මහතා, රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා, උතුරු පලාත් ආණ්ඩුකාරතුමා, ආරක්ෂක ලේකම්තුමා, යාපනය දිස්ත්‍රික් ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද සහ නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි, පොලිස්පතිතුමා, නියෝජ්‍ය පොලිස්පතිතුමා, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආරාධිතයින්, ප්‍රතිලාභීන් ඇතුලු විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ.

spy offers | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4