Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2024 00:18:48 Hours

යාපනයේ පැවති ගෝලීය බෞද්ධ සම්මන්ත්‍රණ සඳහා යුද්ධ හමුදාවේ සහාය

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය නාගදීපය රජමහා විහාරස්ථානයේදී 2024 ජූනි මස 22 දින පැවැත්වුණු අතර, අනතුරුව 2024 ජූනි මස 23 දින යාපනය වාලම්පුරි හෝටලයේදී ලෝක බෞද්ධ එකමුතුවේ 5 වන මහා සමුළුව පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාවන් සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, යාපනය නගරයට පැමිණි දූත පිරිස ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති හිමියන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. උත්සව අවස්ථාවේදී එතුමන් විසින් සිදුකරනු ලැබූ දේශනයේදී යුද්ධ හමුදාධිපතිතුමන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, යාපනය වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා සහ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම්තුමන් විසින් මෙවැනි උත්සවයක් පැවැත්වීමට ලබාදුන් මගපෙන්වීම සහ උපදෙස් වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුද කරමින් මෙම උත්සවයන් සාර්ථකව පැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කරනු ලැබීය.

පැමිණි දූත පිරිසට කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජපානය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිවානය, තායිලන්තය, එක්සත් රාජධානිය සහ වියට්නාමය ඇතුළු රටවල් 24 ක හිමිවරුන් 37 දෙනෙකු සහ බැතිමතුන් 201 දෙනෙකු ඇතුළත් වූහ. මෙවැනි උත්සවයන් පැවැත්වීම මගින් ශ්‍රී ලංකාවේ සාමය සහ ස්ථාවරත්වය ලෝකයට මනාව පෙන්නුම් කරයි.