Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2023 19:23:56 Hours

බස් රථයක් තුළ රෝගාතුර වූ කතකගේ ජීවිතය යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් බේරාගැනේ

සොල්දාදුවෙකු සතු බහුවිධ හැකියාවන් සහ වෘත්තීය ප්‍රවීණත්වය පිළිබිඹු කරමින් පසුගිය සිකුරාදා (මාර්තු මස 24) දින පුත්තලම - ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය පොදු ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක ගමන්ගත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි මගියෙකුගේ ජීවිතය බේරාගැනීමට යුද්ධ හමුදා නිලධාරියෙකු සමත්විය.

කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අංශයේ සේවය කරනු ලබන නිලධාරිනියක වන මෙම කාන්තාව එදින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් අනතුරුව අදාළ බස් රථයෙන් සිය නිවස බලා යමින් සිටින අතරතුරදී ඇයට හදිසියේම හෘදයාබාධ තත්ත්වයක් ඇති විය. මෙම බස් රථයේ මේ වනවිට මගීන් 60 දෙනෙකුට අධික පිරිසක් ගමන්ගනිමින් සිටි අතර එම කිසිදු මගියෙකුට අදාළ කාන්තාවට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමට දැනුමක් නොවීය.

පුත්තලම ආධුනික පුහුණු පාසලේ සේවයේ නියුතු සුරක්කුලම ප්‍රදේශයේ පදිංචි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත මේජර් ආර්.එච්.එම්. සුගත් රාජකරුණා මේ වනවිට බස් රථයේ ගමන්ගනිමින් සිටි අතර රෝගී තත්ත්වයට පත් කාන්තාව දුටු එම යුද්ධ හමුදා නිලධාරිතුමන් බස් රථයේ ගමන්ගත් පෞද්ගලික රෝහලක සේවය කරනු ලබන මඟී කාන්තාවකගේ සහයෝගය ඇතිව කඩිනමින් රෝගී කාන්තාව වෙත මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව 1990 ගිලන්රථ සේවයට මේ බව දැනුම්දෙන ලදී.

1990 ගිලන්රථ සේවාව ලබාගැනීමට අපොහොසත් වූ එතුමන් දුරකථනය ඔස්සේ සිය මිතුරෙකු අමතා ඔහුගේ මෝටර් රථයෙන් අදාළ රෝගී කාන්තාව ආණමඩුව රෝහල වෙත රැගෙන යාමට අවැසි සහයෝගය ඉල්ලා සිටියේය. කාලෝචිතව ක්‍රියාත්මක වෙමින් කටයුතු කරනු ලැබූ මේජර් ආර්.එච්.එම්. සුගත් රාජකරුණා නිලධාරි වෙත කටුපොත ප්‍රදේශයේ පදිංචිව සිටින දෙදරු මවත් වන අදාළ කාන්තාව සිය මිතුරාගේ මෝටර් රථයෙන් ආණමඩුව රෝහල වෙත කඩිනමින් ඇතුළත් කිරීමට හැකියාව ලැබිණි.

රෝගී කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව වාරියපොළ ප්‍රදේශයේ රැකියාවේ නිරත ඇගේ ස්වාමි පුර්ෂයා රෝහල වෙත පැමිණෙන තෙක් මේජර් ආර්.එච්.එම්. සුගත් රාජකරුණා එම රෝහල් පරිශ්‍රයේ රැඳීසිටියේය.

නිසි අවස්ථාවේදී අවශ්‍යය ප්‍රථමාධාර ලබාදී රෝහලට ගෙන නොගියේ නම් ඇය ජීවිතක්‍ෂයට පත්වීමේ හෝ සදාකාලික අංශභාග තත්ත්වයකට පත්වීමේ අවධානමක් පැවති බව රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පැවසූහ.