15th July 2022 21:51:19 Hours
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය බදාදා (13) දින ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයෙහි රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සඳහා, අද (15) දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැඩබලන අතිගරු ජනාධිපති ලෙස දිවුරුම් දුන් ගරු රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කොළඹ යුද්ධ හමුදා රෝහල් සංකීර්ණය වෙත සපැමිණි නව වැඩබලන අතිගරු ජනාධිපතිතුමන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් පිළිගනු ලැබූහ.
එහිදී, ජනාධිපති ධුරය වෙත පැවරී ඇති විධිවිධානයන්ට අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් වැඩබලන අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රතිකාර ලබන වාට්ටුව වෙත ගොස් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලීය.
එහිදී, එතුමන් විසින් හිසේ කැපුම් තුවාල ඇතුළු බරපතල තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මෙන්ම තුවාල ලැබූ අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු විමසා බලන ලදී.
සියලුම සාමකාමී ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත තර්ජන නොතකා ඉතා කැපවීමෙන් රාජකාරි කටයුතුවල නිරතව සිටි තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ට වැඩබලන අතිගරු ජනාධිපතිතුමන් විසින් එහිදී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, කොළඹ යුද්ධ හමුදා රෝහලේ නඩත්තු හා කළමනාකරණ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා සහ යුද්ධ හමුදා රෝහල් අධ්යක්ෂ කර්නල් සමන්ත කුමාරගේ එක්වූහ.