Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2017 08:12:23 Hours

පොසොන් පොහොය වෙනුවෙන් යුද්ධ හමුදා භට පිරිස් විවිධ ආගමික වැඩසටහන්වල

දිවයින පූරා සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් පොසොන් පොහොය නිමිත්තෙන් සිය සේවා ස්ථානයන් ආශ්‍රීතව පැවති දන්සැල්, බෝධි පූජා, පොසොන් කලාප, ශීල ව්‍යාපාර, ධාතු ප්‍රදර්ශන වැනි ආගමික වැඩසටහන් සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 551 වන බලසේනාව, 552 වන බලසේනාව සහ 553 වන බලසේනාව විසින් පොසොන් පොහො දිනයේ (08) එම බලසේනා ප්‍රදේශයන්හි දන්සැල් සංවිධානය කරනු ලැබීය. එදිනම 51 වන සේනාංකය විසින් නාගදීප විහාරයේ දී බෝධි පූජා පිංකමක් සහ යාපනය ශික්ෂණ රෝහලේ දී ලේ දන්දිමේ කඳවුරක් ද සංවිධානය කරන ලදි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් පොසොන් පොහොය නිමිත්තෙන් එම මූලස්ථාන පරිශ්‍රයේ දී පොසොන් කලාපයක් සංවිධානය කළ අතර, ඇටබගස්කඩ විහාරයේ දී බැති ගී සමගින් පොසොන් කලාපයක් සංවිධානය කර තිබුණි. තවද, 21 වන සේනාංකය විසින් අනුරාධපුර නගරයේ දි පොසොන් කලාපයක් සහ දන්සැලක් සංවිධානය කරනු ලැබීය. ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ පැවති ‘පොසොන් කලාපය’ තුළ පහන් කුඩු විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළ අතර, පොසොන් බැති ගී සංදර්ශනයක් ද පවත්වනු ලැබීය.

ස්වාධීන රුපවාහිනී සේවයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව තන්තිරිමලේ රජමහා විහාරයේ පැවති ‘සවනක් රැස් ආලෝක පූජා’ වැඩසටහනට සංඟයාවහන්සේලා 38 දෙනෙකු වැඩමකරවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදාව විසින් සපයනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සහ 57 වන සේනාංකයේ භට පිරිස් කිලිනොච්චි සහ පූනරීන් ප්‍රදේශයන් ආවරණය වන පරිදි පොසොන් කලාපයක් සහ දන්සැල් සංවිධානය කරනු ලැබීය. එමෙන්ම, 65 වන සේනාංකයේ භට පිරිස් විසින් දන්සලක් සංවිධානය කිරීම සහ ගර්භනි මාතාවන් 50 දෙනෙකු සඳහා පෝෂණ මලු 50 ක් ලබාදිම ද සිදු කළහ.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය කෝකිලායි ප්‍රදේශයේ ද 64 වන සේනාංකය ඕඩ්ඩුසුඩාන් සහ මුතියන්කට්ටු යන ප්‍රදේශයන්හි ද 68 වන සේනාංකය වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයේ ද 681 බලසේනාව පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ද පොසොන් පොහොයට සමගාමිව දන්සැල් පවත්වනු ලැබීය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් පොසොන් පොහොයට සමගාමිව විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කළ අතර, පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ‘සිරස පුලතිසි පොසොන් උදානය’ සඳහා එම මූලස්ථාන භට පිරිස් විසින් පහන් කුඩු 40 ක් ලබාදීම මෙන්ම පොසොන් කලාප පරිශ්‍රයේ දී පොසොන් බැතී වැඩසටහනක් පැවැත්වීම සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස විසින් බත් දන්සැලක් පැවැත්විම ද සිදු කළහ.

එමෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් වැලිකන්ද පොසොන් කලාපය තුල දන්සැලක් පැවැත් වූ අතර, 22 වන සේනාංක භට පිරිස් උප්පුවේලි ජයසුන්දරාරාම විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂ ධාතු ප්‍රදර්ශන වැඩසටහනක් හා 24 වන සේනාංක භට පිරිස් විසින් අම්පාර, බුද්ධංගල විහාරයේ සහ කල්මුනේ ශ්‍රී සුභද්ධාරාම විහාරස්ථානයේ පැවති පොසොන් කලාපයන්හි පහන්කුඩු ප්‍රදර්ශනය කරනු ලැබීය.

තවද, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් නිර්මාණය කරන ලද පොසොන් කුඩු තංගල්ල, පොලොන්නරුව, බිංගිරිය, මහරගම, ත්‍රිකුණාමලය, දොම්පේ, රුවන්වැල්ල සහ කතරගම යන ප්‍රදේශවල පොසොන් කලාපයන්හි ප්‍රදර්ශනය කරන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් හම්බන්තොට, මහනුවර සහ දියතලාව යන ප්‍රදේශවල පොසොන් වැඩසටහන් පවත්වන ලදි. එහිදි එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් තිස්සමහාරාම රජමහා විහාරයේ පෙරහැර සඳහා සහාය දැක්වීම, 11 වන සේනාංක භට පිරිස් විසින් මහනුවර ප්‍රදේශයේ පහන්කුඩු ප්‍රදර්ශනය කිරීම සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් බණ්ඩාරවෙල, මිරහාතැන්න විහාරයේ සහ දියතලාව කඳුරුගොඩ විහාරයේ වෙසක් කලාප සඳහා දායකත්වය දැක්වීම සිදු කළහ.

53 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී ‘පොසොන්’ පහන් කුඩු විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළ අතර, ඒ සඳහා ගුවන් සංග්‍රමික බලසේනාව, 532 සහ 533 වන බලසේනා සහ ඒ යටතේ වු ඒකකයන් හී භට පිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

මෙම පොසොන් කලාප නැරඹීම සඳහා දිවයින පූරා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Asics shoes | FASHION NEWS