Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2023 18:09:04 Hours

පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයන්ට මූල්‍ය දිරිදීමනා

අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙතින් පාඨමාලාවන් තුලින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් අභිප්‍රේරණය කිරීමේ අරමුණින් ඔවුන් වෙත මූල්‍ය දිරිදීමනා ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගිය දා එම රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ප්‍රථම මූල්‍ය දිරිදීමනා පරිත්‍යාගය සිදුකෙරිණි.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන යටතේ ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලාව’, ‘සරඹ උපදේශක පාඨමාලාව’, ‘ඉගැන්වීමේ ක්‍රමවේදය’ පාඨමාලා තුනක, ‘කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලාව’ සහ ‘ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව’ යන පාඨමාලාවන් හැදෑරූවන් වෙනුවෙන් මෙම මූල්‍ය දිරිදීමනා ලබාදීම සිදුකෙරිණි.

පාඨමාලාවන් සඳහා සහභාගීවන්නන් එම පාඨමාලාවන්ට සූදානම් වීමේදී දැරීමට සිදුවන පිරිවැය පිළිබඳ සලකා බලා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙතින් එම පාඨමාලාවන්හි දක්‍ෂතම සාමාජිකයන් වෙත මෙම මූල්‍ය දිරිදීමනා ලබාදෙමින් ඔවුන් දිරිමත් කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරි II එස්.බී.ඒ.ඩී.ආර්. බණ්ඩාර ආර්එස්පී යූඑස්පී, 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් එස්.එම්. හෙට්ටිආරච්චි, 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ටී.එම්. සුනිල් ශාන්ත, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එම්.එච්.ඩී.එම්. උදයංග, 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ පී.වී.ජී. වසන්ත කුමාර, 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ එච්.එම්.එම්.එල්.කේ. සේනාරත්න සහ 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ ඩබ්ලිව්.එම්.සී.සී. දයාරත්න වෙත මූල්‍ය දිරිදීමනා ලබාදීම සිදුකෙරිණි.

මෙම දිරිදීමනා පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ, නිලධාරින් සහ පාඨමාලා හැදෑරූවන් සහභාගී වූහ.