Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2023 19:33:07 Hours

පල්ලේකැලේ ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන පල්ලේකැලේ ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (ජූනි මස 23) දින ‘විරු කැකුළු’ ක්‍රීඩා පිටියේදී පැවැත්විණී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය සහභාගී විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ඇතුළු අනෙකුත් පිරිස පෙරපාසල් දරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ක්‍රීඩා උළෙලේදී කුඩා දරුවන් ළමා ක්‍රීඩා වලට වලට සහභාගී වී සිය දක්‍ෂතා එළි‍දැක්වූ අතර එම දරුවන්ගේ දෙමාපියන්ද විශේෂ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූහ.

ක්‍රීඩා උළෙල සමාප්තියේ, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුඩා ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය. වැඩසටහන සමාප්තියේ ජානකි ලියනගේ මහත්මිය විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා 11 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ඩබ්ලිව්. බණ්ඩාර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන ශ්‍යාමලී විජේසේකර මහත්මිය, පල්ලෙකැලේ ‘විරු කැකුළු’ පෙරපාසල් කළමණාකාර චන්දිමා බණ්ඩාර මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, සෙසුනිලයන් සහ දෙමාපියන් පිරිසක් ද එක්ව සිටියහ.