Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2023 00:16:54 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී කැපවීමෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ අමිල සේවය පිළිබඳ හා එතුමන්ගේ යුද බිමේ අත්දැකීම් පිළිබඳව අදහස් මතකාවර්ජනය කරනු ලැබීය.

එහිදී පැවති සුහද හමුවේදී, යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී තම යුද්ධ හමුදා දිවිය තුළ කීර්තිමත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය සහ කැපවීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇඟයීමට ලක් විය.

මෙම අවස්ථාවට සහභාගි වූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් එක්කළේය. එමෙන්ම දැනට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කැඩෙට් නිලධාරි පාඨමාලාව හදාරන එතුමන්ගේ වැඩිමහල් පුත්‍රයා සමඟින්ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, එතුමන් පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව වෘත්තීය දිවිය තුළ විවිධ අභියෝගාත්මක කාර්යභාරයන් ඉටුකරන සමයේදී සිය පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.

මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය කෘතඥතාව පුදකළේය.

සුහඳ හමුද සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1987 ජුලි මස 21 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව හදාරා වර්ෂ 1989 ජුනි මස 23 දින දෙවන ලුතිතන් නිලයේ අධිකාරියට පත්ව විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්ත කරනු ලැබීය‍. එතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2020 ඔක්තෝබර් මස 01 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

රණබිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් වීරවික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම සහ රණශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි කරනු ලැබීය. එතුමන් 1 විජයභාහු පාබල රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි, නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී II, යුද සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී II, 1 විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත/සැලසුම්), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, 1 විජයභාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, කලාප අණදෙන නිලධාරී සහ මෙහෙයුම් ආඥාපති කොළඹ, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, 68 පාබල සේනාංකයේ කාර්යයේ නියුතු කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 515 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු කණ්ඩායමේ ප්‍රධානී, 641 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ), ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි, 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී, ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ 1 බලකායේ බලකාධිපති යන තනතුරු හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරීන්ගේ පාඨමාලාව, ඛණ්ඩ අවි පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, නිලධාරීන්ගේ අවි පාඨමාලාව - බංගලාදේශය, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව- ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ඇමරිකා එක්සත් ජනපදයේ නාවික පශ්චාත් උපාධි පාසලේ ආරක්‍ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ගැටුම් නිරාකරණය සහ සාමසාධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වැනි උසස් අධ්‍යාපන පාඨමාලාව ද හදාරා ඇති එතුමන් එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ, ශාස්ත්‍රවේදී උපාධිය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාවද හදාරා ඇත.