Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2023 00:13:08 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර සිය රාජකාරී කාලසීමාව තුළ කටයුතු කළ ආකාරය පිළිබඳව මතකයන් ආවර්ජනය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ විශ්‍රාම දිවියටද සුභපැතුම් එක්කරමින් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනභිබවනීය සේවය ඇගයීමට ලක් කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර මෙම අවස්ථාවට ආරාධනා කිරීම සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළ අතර, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් එක්කළේය. එතුමන්ගේ සේවා කාලය පුරාවට පවුලේ සාමාජිකයන් ලබාදුන් අනුපමේය සහයෝගය ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවූ අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ද මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර වර්ෂ 1989 නොවැම්බර් මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳීමෙන් අනතුරුව රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක 34 ‘බී’ යටතේ මූලික පුහුණුව සාර්ථකව හැදෑරීය. අනතුරුව, දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1991 නොවැම්බර් මස 14 දින ඉංජිනේරු සේවා බලකායට අනුයුක්ත කෙරිණි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 2023 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම ලබන විට එතුමන් ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයන් හොබවමින් සිටියේය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ ඔහු අනුරාධපුර සහ වැලිඔය ගැරිසන් - ආරක්‍ෂක සේවා ඉංජිනේරු කාර්යාලය, 2 ඉංජිනේරු සේවා බලකායේ විධායක අධිකාරි, 8 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කළමනාකරණ ඒකක‍යේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, 2 ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉංජිනේරු කටයුතු පිළිබඳ උපදේශක, හෝමාගම, දියගම ක්‍රීඩා සංකීර්ණයේ ව්‍යාපෘති කළමණාකරු, ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, මධ්‍යස්ථාන සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර සිය හමුදා දිවිය තුළ ඒකක පරිපාලන පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදන නිලධාරි පාඨමාලාව, කනිෂ්ඨ නිලධාරී පරිපාලන පාඨමාලාව - බංගලාදේශය, ඉංජිනේරු නිලධාරී වැඩ පිළිවෙත පිළිබඳ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික සහ භඨකාර්ය සම්පාදන නිලධාරි පාඨමාලාව - ඉන්දුනීසියාව සහ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හොබවා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිවිල් හා ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන) සහ පරිගණක සැකසුම් හා නිර්මාණකරන ආයතනයේ ව්‍යාපෘති කළමනාකරණ ඩිප්ලෝමාව, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක කෙටුම්පත් නිර්මාණය පිළිබඳ උසස් පාඨමාලාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ගිනි හඳුනාගැනීම් සහ ආරක්‍ෂණ පද්ධති පාඨමාලාව, විදුලි ස්ථාපන පාඨමාලාව, ජලනල ඉංජිනේරු පාඨමාලාව සහ වායු සමීකරණ පද්ධති පාඨමාලාව වැනි උසස් අධ්‍යාපනික පාඨමාලාවන් රැසක් හදාරා ඇත.