Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2023 23:06:59 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් සිකුරාදා (ඔක්තෝම්බර් මස 06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම සහ මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා දක්වනු ලැබු දායකත්වය පිළිබද මතකාවර්ජනයක නිරත වෙමින් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සහ දරුවන් තිදෙනා සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

එම අවස්ථාව එක්වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්තව ලුතිනන්වරයෙකු ලෙස සේවය කරනු ලබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ පුතනුවන් සමගින් ද යුද්ධ හමුදාධිපතිතුමන් පිළිසඳරක නිරත වූ අතර, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුට යුද්ධ හමුදාවේ කීර්තිමත් හමුදා නායකයෙකු වීමට සුභ පැතුම් එක්කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී වර්ෂ 1988 පෙබරවාරි මස 22 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට එක්විය. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එතුමන් වර්ෂ 1989 දෙසැම්බර් මස 16 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2021 ජනවාරි මස 28 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී කාලතුවක්කු හමුදාවේ සාමාජිකවෙකු ලෙස යුද පිටියේදී සතුරාට එරෙහිව දක්වනු ලැබු විශිෂ්ට නිර්භීතකම වෙනුවෙන් රණ සූර පදක්කමින්ද පිදුම් ලබා ඇත.

විශ්‍රාම ලබන විට එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ යන තනතුරු හොබවා ඇත. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ පනාගොඩ ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරි උපදේශක, 4 ශ්‍රී ලංකා කාලත්වක්කු හමුදාවේ අනු කණ්ඩ අණදෙන නිලධාරී, බුද්ධි නිලධාරි, බතරොයි කපිතන්, බතරොයි නිලධාරී අණදෙන සහ විධායක අධිකාරී, සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරීගේ අධි සහායක, යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීගේ අධි සහායක , යුද්ධ හමුදා මූලස්ථානයේ යුධ සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 සහ 2, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යයේ නියුතු මාණ්ඩලික ප්‍රධානී සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ක්‍රීඩා, රණවිරු සම්පත් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, රණවිරු සම්පත් මධ්‍යස්ථානයේ කාර්යයේ නියුතු සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ පුනරුත්ථාපන, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුනරුත්ථාපන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති ධූරයේ රාජකාරීන් හොඹවනු ලැබීය.

එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළ කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, නිලධාරීන්ගේ විශිෂ්ටතා පාඨමාලාව, බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු ස්ථානගත කිරීමේ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, ANPTQ 36 Weapon Locating Radar Course - ඇමෙරිකා එක්සත් ජනපදය, උසස් කාල තුවක්කු පුහුණු පාඨමාලාව - ඉන්දියාව වැනි දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇත.

ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රපති උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ගැටුම් නිරාකරණ කුසලතා සංවර්ධන ඩිප්ලෝමාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික ඩිප්ලෝමාව සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩා පරිපාලක පාඨමාලා වැනි උපාධීන් හා ඩිප්ලෝමා හදාරා ඇත.