Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2016 21:45:52 Hours

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සිය රාජකාරී අරඹයි

මේජර් ජෙනරාල් යු.ඒ.බී මැදවල නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස අගහරුවාදා (1) දින යුද හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී සිය රාජකාරී ආරම්භ කරන ලදී.

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සිය කාර්යාලයේදී නිල ලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව සිය රාජකාරී ආරම්භ කරන ලදී. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 48 වෙනි මාණ්ඩලික ප්‍රධානි වේ.

යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩී.ටී ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.

මේජර් ජෙනරාල් යු.ඒ.බි. මැදවල ආර්එස්පී මෙම පත්වීමට පෙර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ හමුදා උපදේශක ලෙස කටයුතු කරන ලදි. එමෙන්ම ඔහු එක්සත් ජනපදයේ සිටි කාලය තුල දී ආසියානු සමූහ හමුදා සහ පොලිස් උපදේශක පීඨාධිපති ලෙස කටයුතු කර ඇත.

මෙම විදේශීය තනතුරට පෙර මේජර් ජෙනරාල් උභය මැදවල බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස මෙන්ම තවත් ප්‍රධාන තනතුරු කිහිපයක කටයුතු කර ඇත.

1961 දෙසැම්බර් මස 3 වන දින හයදෙනෙකුගෙන් යුත් පවුලක උපත ලැබූ මේජර් ජෙනරාල් යු.ඒ.බි. මැදවල කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, ක්‍රිකට්, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා ක්ෂේත්‍රයන් හි දක්ෂතාවයන් දැක් වූ අතර, විද්‍යාලීය කෙඩෙට් කණ්ඩායමෙහි ද සාමාජිකයෙකු විය. අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය ජීව විද්‍යා අංශයෙන් හැදෑරු ඔහු 1981 දී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස යුද හමුදාවට බැඳී 1982 ජූලි 18 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්විය. එහිදි ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පිඨයෙන් දක්ෂතම කෙඩෙට් නිලධාරීයාට හිමි අසිපත හිමි කර ගත් අතර, යුද උපක්‍රම විෂයෙහි විශේෂ ත්‍යාගය ද හිමි කර ගන්නා ලදි.

අනතුරුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට එක් වී එම රෙජිමේන්තුවේ සියලුම වැදගත් තනතුරු හොබවා 1995 දී 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවට අණදීම සිදු කරන ලදි. ඉන් අනතුරුව, හිටපු යුද හමුදාපති ජෙනරාල් ආර්. ද එස්. දලුවත්තගේ යුද සේවා සහාකාර තනතුර හෙබවූ අතර, මියගිය මේජර් ජෙනරාල් ඩි.එල්. කොබ්බෑකඩුවගේ අධි සහායක ලෙස ද කටයුතු කරන ලදි.

ඔහුගේ සේවා කාලය තුළ යුද හමුදා විද්‍යාපිඨයේ උපදේශක තනතුර මෙන්ම පාඨමාලා භාර නිලධාරී තනතුර ද හොබවා ඇති අතර, උපදේශනය හා ඉගැන්විමේ ක්‍රමවේදය පිළිබඳ උපදේශකයෙකු ද විය. හිටපු යුද හමුදාපති මියගිය ජෙනරාල් එල්. ඩි.සි.ඊ. වෛද්‍යරත්නගේ මඟපෙන්විම යටතේ ‘පාර් එක්සලන්ස්’ පාඨමාලාවේ උපදේශක ලෙස ද කටයුතු කර ඇත.

ඔහුගේ සේවා කාලය තුල ඉන්දීයාව, පකිස්තානය, සිංගප්පුරුව, චෙක් ජනරජය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විශේෂ පාඨමාලා හදාරා ඇති අතර, ඉන්දීයාවේ සන්නාහ සන්නද්ධ පුහුණු පාසලේ පළමු පෙළ සන්නාහ සන්නද්ධ නිලධාරී උපදේශකයෙකු ලෙස සම්මාන ලබා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ආරක්ෂක ආයතනයේ අන්තර්ජාතික නීති අධ්‍යයන අංශය විසින් ඔහු යුද ක්‍රියාන්විත සහ සාමසාධක කටයුතු පිළිබඳ සම්භාවනීය ශිෂ්‍යයා ලෙස නම් කර ඇත. මීට අමතරව, ඔහු චිලි, බ්‍රසීලය, ඉන්දුනිසියාව, ස්විස්ටර්ලන්තය, ආරාබි එක්සත් එමිර් රාජ්‍ය සහ එක්සත් ජනපදය යන රටවල්හි සම්මන්ත්‍රණ සඳහා සහභාගි වී ඇත.

ඔහු ඉන්දීයාවේ වෙලින්ටන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර, මැඩ්ඩ්‍රාස් විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ උපාය මාර්ගික කටයුතු පිළිබඳ පළමු පෙළ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තිබේ. තවද, ශ්‍රී ලංකා යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇත.

යාපනය, කිලාලි හි පිහිටි 554 පාබල බලසේනාවට අණදීම ද සිදු කර ඇති මොහු ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස ද කටයුතු කරන ලදි. යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම, 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද කටයුතු කර ඇත.

එමෙන්ම ඔහු සේනාංකාධිපති ලෙස සේවය කිරිමෙන් අනතුරුව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර ඇති අතර, යුද හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානි ලෙස ද කටයුතු කර තිබේ.

තවද, ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රියාන්විත ලෙස කටයුතු කර ඇති අතරම, මධ්‍යම සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස ද, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක ලෙස ද කටයුතු කර ඇත.

චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධාරීයෙකු වන මේජර් ජෙනරාල් උභය මැදවල රටවල් 46 ක් නියෝජනය කළ සිසුන් 75 දෙනෙකු අතරින් තෝරාගත් අති දක්ෂ 10 දෙනා අතරින්ද ප්‍රථම ස්ථානයට පත්විය. ඔහු විසින් ඉදිරිපත් කළ ‘ඉන්දීය සාගර කලාපය තුල චීනයේ ඉදිරි දර්ශනය’ පිළිබඳ නිබන්ධනය චීන විශේෂඥයින් විසින් ඉතා ඉහළම නිබන්ධනයක් ලෙස ඒකමතිකව තිරණය කර තිබේ.

ජිනිවා හි පැවති 17 වන මානව හිමිකම් සැසිය සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ සමඟින් නියෝජිතයෙකු ලෙස ද ඔහු සහභාගි වී ඇත.

තවද ඔහු තායිලන්තයේ නාවික අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ද කැළණිය විශ්ව විද්‍යාලයේ කර්මාන්ත කළමනාකරණ අධ්‍යයන අංශයේ ද බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත.

මේජර් ජෙනරාල් මැදවල යුද හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර, 2013 වර්ෂයේ දී පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ දී මෙතෙක් යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් ලබාගන්නා ලද ඉහළම දක්ෂතාවයන් ප්‍රකට කර ඇත. එසේම ඔහුගේ විනෝදාංශ ලෙස වනජිවීන්ගේ ජීවන රටා සහ ස්ථාන පිළිබඳ අධ්‍යයනය, වෙරළ ගවේෂණය, මන් සොයා ගමන් කිරීම සහ ගෙවතු වගාව හැදින්විය හැකිය.

ඔහුගේ නිකළැල්, විශිෂ්ඨ යුද හමුදා සේවා කාලය තුල රණ ශුර පදක්කම, විශිෂ්ඨ සේවා විභුෂණ, උත්තම සේවා පදක්කම සහ දිර්ඝ සේවා පදක්කම ඇතුලු තවත් ක්‍රියාන්විත සහ සේවා පදක්කම් රැසක් හිමිකරගෙන ඇත.

2015 ඔක්තෝබර් මස 17 වන දින සිට මේ දක්වා ඔහු එක්සත් ජනපදයේ නිව්යොර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ හමුදා උපදේශක ලෙස කටයුතු කර තිබේ.

Authentic Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival