03rd January 2025 16:40:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරය සඳහා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ පීඑස්සී පත්කෙරිණි. යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස 2025 ජනවාරි මස 02 දින එතුමන් ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
පූජ්‍ය බලන්ගොඩ අමරජෝති හිමිපාණන්, පූජ්‍ය අළුත්වෙල රතනසිරි හිමිපාණන් සහ පූජ්‍ය ලුණුගම්වෙහෙර විමලානන්ද හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික වතාවත් මධ්‍යයේ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ පීඑස්සී සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය හෙබවීය.
මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1970 ජුනි මස 26 දින මාතලේ ප්‍රදේශයේදී උපත ලද මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වශයෙන් අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් දක්‍ෂතා දැක්වූවෙකි. ජවසම්පන්න ක්‍රීඩකයෙකු ලෙස එතුමන් මළල ක්‍රීඩා, ටයිකොන්ඩෝ සහ රග්බි යන ක්‍රීඩා ක්ෂේත්‍රයන් තුළින් සිය දක්‍ෂතා එළිදැක්වූ අතර ඒ තුළින් සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවියට මානසික හා ශාරීරික වශයෙන් මූලික අඩිතාලම සකස් කරගනු ලැබීය.
වර්ෂ 1989 දී කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 (ඉන්දියාව) යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස ඇතුළත් වූ එතුමන් පසුව ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් ද සිය හමුදා පුහුණුව සාර්ථකව හැදෑරීය. වෘත්තීය දිවිය තුළදි එතුමන් අණ, මාණ්ඩලික සහ උපදේශක තනතුරු රැසක් හොබවා ඇත.
සිය වෘත්තීය දිවිය තුළදි එතුමන්, 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, වර්ෂ 2007 සිට 2008 දක්වා හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ක්‍රියාන්විත පාලන ශාඛාවේ (U1) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), ත්‍රිකුණාමලය 22 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 511 සහ 224 පාබල බලසේනාවන්හි බලසේනාධිපති සහ 51 හා 52 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වැනි ධූරයන් හොබවා ඇත.
මීට අමතරව, එතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ 2019 දෙසැම්බර් මස සිට 2021 මාර්තු මස දක්වා යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වැනි ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ තනතුරු ද එතුමන් විසින් හොබවා ඇත. එමෙන්ම, සහකාර යුද සේවා ලේකම්, යුද සේවා ලේකම්, විධායක ජෙනරාල් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වැනි තනතුරු ද එතුමන් විසින් හොබවා ඇත.
එමෙන්ම, නව ධූරයේ රාජකාරි භාරගත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කොළඹ විශ්වවිද්‍යාලය තුළින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, කොරියානු ජනරජයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් ජාතික ආරක්‍ෂාව සහ යුද අධ්‍යයනය හදාරා ඇති එතුමන් කොරියානු ජාතික ප්‍රමිතීන්ට අනුකූලව භාෂා ප්‍රවීණත්වය ද ලබාගෙන ඇත. කොරියානු ජනරජයේ නොන්සන් නගරයේ ගෞරව පුරවැසිභාවය ද හිමි එතුමන් සිංගප්පූරුවේ 6 වන ආසියානු අධ්‍යාපන නායකත්ව සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.
මීට අමතරව, එතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, මාලදිවයිනේ පුහුණු හා අධ්‍යයන ආරක්‍ෂක ආයතනය සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ජාත්‍යන්තර සබඳතා විෂයය පිළිබඳ දැඩි අධ්‍යයන උනන්දුවක් දක්වන අතර හමුදා උපායමාර්ග, ජාත්‍යන්තර ආරක්‍ෂාව, චිත්තවේග බුද්ධිය, කළමණාකරණය, නායකත්වය සහ පරිපාලනය වැනි තේමාවන් ඔස්සේ දේශනයන් ද පවත්වයි. එතුමන්ගේ අධ්‍යයන ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පීඨයේ ප්‍රථම පර්යේෂණ සම්බන්ධීකාරක වශයෙන් පත්කරනු ලැබූ එතුමන් පසුව එම පීඨයේ පීඨාධිපති තනතුරට ද උසස් කරන ලදී.
අධ්‍යයන සංසදයන් සඳහා පර්යේෂණ පත්‍රිකා රාශියක් ඉදිරිපත් කර ඇති එතුමන් සම්මන්ත්‍රණයන් ගණනාවක් සඳහා ද සහභාගී වී ඇත. මනා පළපුරුද්දකින් හෙබි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් CIMIC උද්‍යානය නමින් නව්‍ය ව්‍යාපෘතියක් ද ආරම්භ කළේය. සිය නායකත්වය යටතේ, කෝපායි, පලාලි සහ කිලිනොච්චි යන ප්‍රදේශවල CIMIC උද්‍යාන තුනක් ස්ථාපිත කළ අතර, එමඟින් සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර විශ්වාසය තවදුරටත් ප්‍රවර්ධනය විය.
වෘත්තීය ජයග්‍රහණයන්ට අමතරව, රගර් ක්‍රීඩාව තුළින් දක්‍ෂතා දැක්වූ එතුමන් ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ ප්‍රථම ඩෑන් කළු පටිය ද හිමිකරගෙන ඇත. එතුමන් කණ්ඩායම් කළමණාකරුවෙකු සහ පුහුණුකරුවෙකු වශයෙන් ‘ඉක්වදෝරය 2014’ ලෙස නම් කරන ලද 2 වන ලෝක කෙඩෙට් ක්‍රීඩා උළෙලට ද සහභාගි විය. මේ වනවිට එතුමන් යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති ධූරය ද හොබවනු ලබයි.
පුළුල් පරාසයක සුදුසුකම් සහ මව්බිම වෙනුවෙන් වසර 35 කට අධික කැපවූ සේවාවක් ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ රණශූරත්වය වෙනුවෙන් රණ වික්‍රම පදක්කම සහ රණශූර පදක්කමෙන් දෙවරක් පිදුම් ලබා ඇත. ශ්‍රාස්ත්‍රපති උපාධිය සහිත එතුමන් මේ වනවිට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ‘ඉන්දියානු සාගරයේ 21 වන සියවසේ බල තරඟයේ බලපෑම’ තේමාව තුළින් ආචාර්ය උපාධියක් හදාරමින් සිටියි.
එතුමන් ජාතිය වෙනුවෙන් සිදුකළ අමිල සේවය ඇගයීමට ලක්කරමින් දේශමාමක සහ දේශ ගෞරව කීර්තිනාම පදක්කම්වලින් ද පිදුම් ලබා ඇත. ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටින එතුමන් ආදරණීය පුතණුවෙකු සහ දියණියකගේ ආදරණීය පියාණන් වේ.