Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2023 16:05:25 Hours

දියතලාව ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන දියතලාව ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (ජූනි මස 16) දින ‘විරු කැකුළු‘ ක්‍රීඩා පිටියේදී පැවැත්විණී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ඇතුළු අනෙකුත් පිරිස පෙර පාසල් දරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ක්‍රීඩා උළෙලේදී කුඩා දරුවන් තූර්ය වාදන සංදර්ශන සහ ළමා ක්‍රීඩා වලට වලට සහභාගී වී සිය දක්‍ෂතා එළි‍දැක්වූ අතර එම දරුවන්ගේ දෙමාපියන්ද විශේෂ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූහ. එම ක්‍රීඩා උළෙල සමාප්තියේ, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුඩා ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය. උත්සව අවස්ථාව සමාප්තියේ ජානකි ලියනගේ මහත්මිය විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, දියතලාව ‘විරු කැකුළු’ පෙරපාසල් කළමණාකාර උදේනි රත්නායක මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ දෙමාපියන් පිරිසක් ද එක්ව සිටියහ.