Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2021 09:30:32 Hours

දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ දියත් කල තවත් මෙහෙයුමකදී 3 වන සහ 4 වන විශේෂ බලකායේ භටපිරිස් ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගනී

මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බ්‍රහස්පතින්දා (16) දින කොළඹ උතුරු ප්‍රදේශයේ පිහිටි දික්ඕවිට ධීවර වරායේදී පැවැත්විණි.

4 වන විශේෂ බලකායේ භටපිරිස් විසින් දියත් කල එම පුහුණු අභ්‍යාසය අතරතුරදී විදේශීය රටවල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම් කල නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ නායකයෙකු ඇතුළු තවත් ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූහ.

ජාත්‍යන්තර මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා ලෙසත් ත්‍රස්ත ක්‍රියා සඳහා ජාත්‍යන්තර මුදල් එක්රැස් කරන බුද්ධි නායකයෙකු ලෙසත් සැලකෙන ‘චාල්ස් ලුකස්’ යන අනුවර්ථ නාමයෙන් ප්‍රසිද්ධ නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ ප්‍රධානියෙකු ධීවර වරායේ තිබු ධීවර බෝට්ටුවක සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය විය.

මේ පිළිබඳ බුද්ධි අංශය වෙත තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා ඇතුළු අනෙකුත් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ එම මෙහෙයුම දියකාවා යුද අභ්‍යාසයේ බලසේනාධිපති කර්නල් සංජීව හොරවලවිතාණ ගේ අධීක්‍ෂණය යටතේ 4 වන විශේෂ බලකායේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින උදෑසන ක්‍රියාවට නැංවිණි. මෙහෙයුම අතරතුරදී බෝට්ටු අංගනයේ තිබු සැක සහිත බෝට්ටුවක් තුළ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා විශේෂ බලකායේ භටපිරිස් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මෙහෙයුම අතරතුරදී ටී 56 ස්වයංක්‍රීය අවි, පිස්තෝල, අත්බෝම්බ හා ස්නයිපර් අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ රැසක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා ඇතුළු අනෙකුත් පිරිස භටපිරිස් විසින් නිරූපද්‍රීතව අත්අඩංගුවට ගන්නා ලදී.

එසේම, 3 වන විශේෂ බලකායේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (14) දින දියත් කල මෙහෙයුමකදී මධ්‍යම පළාතේ මීමුරේ ප්‍රදේශයේ සැඟවී සිටි ‘ජෝජර් මෙරිල්’ නැමති නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ නායකයෙකු ස්නයිපර් වෙඩිපහරකින් ජීවිතක්‍ෂයට පත්විය.

නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ මෙහෙයුම් අංශය, අනාගත සැලසුම්ගත ත්‍රස්ත ප්‍රහාරයන්ට අණදීම්, පාලන, සන්නිවේදන, පරිගණක සහ තොරතුරු පහසුකම් සඳහා පදනම් වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කරගන්නා ලදී.

තවද, කඳුකර ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියාවන් ආරම්භ කිරීම සඳහා මධ්‍යම පළාතේ සිවිල් ඇඳුමින් සැරසුණු ත්‍රස්තවාදී කණ්ඩායම් සැරිසරන බවට තොරතුරු අනාවරණය වී ඇත. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටා ඇති මීමුරේ ප්‍රදේශයේ ‘ලකේගල’ නම් වූ පෞරාණික භූමි ප්‍රදේශයේ මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සැරිසරණ බවට අනාවරණය වී ඇත. ඒ අනුව, දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ යුද අභ්‍යාසයේ ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් සංඛ ජයමහා ගේ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු අභ්‍යාස ක්‍රියාවට නැංවිණි.