Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2021 05:40:10 Hours

'දියකාවා යුද අභ්‍යාසය XI – 2021’ මින්නේරියේ දී නිල වශයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් එක් පුහුණු වැඩසටහනක් ලෙස 11 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි මෙහෙයුම් මූලස්ථානයේදී සිකුරාදා (03) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට සහභාගි වූ යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ යුද අභ්‍යාසයේ නියෝජය අධ්‍යක්‍ෂ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද අභ්‍යාසයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදි සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ ප්‍රධානතම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් වන ‘දියකාවා යුද අභ්‍යාසය’ මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේදී සිකුරාදා (03) දින නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රථම එම යුද අභ්‍යාසය පිළිබඳ සාකච්ඡාවක් එම අභ්‍යාසයට සහභාගීවීමට නියමිත පිරිස් සමඟින් පැවැත්විණි.

විදේශීය හමුදා නියෝජතයින්ගේ සහභාගීත්වයෙන් මෙවර පැවැත්වෙන 11 වන ‘දියකාවා යුද අභ්‍යාසය’ ත්‍රිවිධ හමුදාවේ සහයෝගීතාවය ගොඩනැගීම සඳහා විශේෂ මෙහෙයුම් බලකායන් (Special Operations Forces) ඒකාබද්ධව පවත්වනු ලබයි.

ඉන්දියාව, නේපාලය, මාලදිවයින, පාකිස්තානය සහ බංග්ලාදේශය වැනි විදේශ රටවල් නියෝජනය කරමින් විදේශිය හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින් මෙම යුද අභ්‍යාසයට සහභාගිවීමට නියමිතය.

පුහුණු කාලසීමාව තුලදී මූලික වශයෙන් සැලසුම් සකස් කිරීම, පූර්ව සුදානම, තාක්‍ෂණික භාවිතය, සමායෝජනය, අණදීම, පාලනය, යුධ උපක්‍රමය, ශිල්පීය ක්‍රම සහ කාර්යය පටිපාටියන් මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබදව මෙම අභ්‍යාසයේ දී පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවැති පුළුල් උපදේශන හා සාකච්ඡා වට කිහිපයකදී ලබාදුන් උපදෙස් මත මෙවර පැවැත්වීමට නියමිත දියකාවා යුද අභ්‍යාසය වැඩිදියුණු වී ඇත.

දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ, අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු යුද්ධයේ අත්දැකීම් සහිත ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක අධීක්‍ෂණය මත මෙම යුද අභ්‍යාසයේ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙවර යුද අභ්‍යාසය මන්නාරම, විල්පත්තු, අරිප්පු, තුනුක්කායි, වව්නිකුලම්, නැදුන්කර්නි, චුන්ඩිකුලම්, නයාරු, තිරියාය, නිලාවේලි, තොපූර්, ඉලංකන්තෙයි, වාකරෙයි, තෝනිත්තත්තුමඩු, නරකමුල්ල, කංචිකුඩිච්චිආරු, චෙන්කලඩි, දඹුල්ල, මොරගහකන්ද, මීමුරේ, කොළඹ, දික්ඕවිට යන ප්‍රදේශ ආවරණය කරමින් පවත්වා අවසන් ප්‍රහාරත්මක යුද අභ්‍යාසය 2021 සැප්තැම්බර් මස 25 වන දින පැවැත්වීමෙන් අනතුරුව සමාප්ති උත්සවය 2021 සැප්තැම්බර් මස 26 වන පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාස ඉතිහාසයේ ප්‍රථමවරට සන්නද්ධ බලසේනාව, යාන්ත්‍රික පාබල බලසේනාව, ගුවන් සංක්‍රමික බලසේනාව, 583 වන පාබල බලසේනාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බලකාය එක්ව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව “ජෛව බුබුළු සංකල්පය” යටතේ මෙවර යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක් විසින් පාලනය කරනු ලබන රටක භෞමික අඛණ්ඩතාව අභියෝගයට ලක් කරන රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ බලපෑමකට ලක්වූහොත් ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය පිළිබඳවත් ඉදිරියේදී සිදුවිය හැකි ආරක්‍ෂක තත්ත්වයක් ගම්‍යවන පරිදි මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර ඇත.

අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් හා සහභාගීවන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දැනුම සම්ප්‍රේරණය කිරීමට සහ යුධමය අත්දැකීම් හුවමාරු කරගැනීමට අතිශය පුළුල් සහ වඩාත් පරිපුර්ණ පුහුණු අභ්‍යාසයක් ලෙස වසර ගණනාවක් පුරා මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

මෙවර පැවැත්වෙන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා නිලධාරින් සහ නිරික්‍ෂකයින් ඇතුළු 2846 දෙනෙකු සහභාගි වේ. මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති දියකාවා යුද අභ්‍යාසයේ සමාරම්භක උත්සවයට මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ (Zoom technology) අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික, පුහුණු අධ්‍යක්‍ෂ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ, විශේෂ බලකා බලසේනාවේ භටපිරිස්, කමාන්ඩෝ බලසේනාවේ භටපිරිස්, නාවික හා ගුවන් හමුදා භටපිරිස් සම්බන්ධ වූහ.