Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2021 22:45:35 Hours

දියකාවා යුද අභ්‍යාසය පකිස්තානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ නිරීක්‍ෂණයට

මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බදාදා (22) දින නරකමුල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.

එම යුද අභ්‍යාසයේදී, නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ නරකමුල්ල ප්‍රදේශයේ පිහිටි තවත් ත්‍රස්තවාදී කඳවුරකට ඇතුළු වූ ගුවන් සංක්‍රමික බලසේනාවේ භටපිරිස් එම සතුරු කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලදී.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය හා ඒ සඳහා සහයෝගය දක්වන නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters) සංවිධානයේ ප්‍රධාන කඳවුර ලෙස හඳුනාගත් මෙම කඳවුරට ප්‍රහාරය එල්ල කිරීමට පෙර ත්‍රස්තවාදීන් විශාල පිරිසක් සිටි නමුත් ගුවන් සංක්‍රමික බලසේනාවේ විශ්මයජනක ප්‍රහාර හමුවේ ඔවුන්ට පසුබැසීමට සිදුවිය. ටී 56 ස්වයංක්‍රීය අවි, චීන සුළු යාන්ත්‍රික අවි (LMG), ආර්පීජී අවි (RPG), මෝටාර් (Mortar) සහ 40 මිලිමීටර් ග්‍රේනේට් ලෝන්ජර් (M40 recoilless rifle) ආදී අවි ආයුධ පිළිබඳ සන්නද්ධ පුහුණුව ලත් ගුවන් සංක්‍රමික සෙබලුන් 26 - 28 ක පමණ පිරිසකගේ සහාය ඇතිව එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදුකිරීම සඳහා ත්‍රස්තවාදීන් ප්‍රතිසංවිධානය වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය කරගන්නා ලදී.

තවද, ගුවන් සංක්‍රමික බලසේනාවේ භටපිරිස් විසින් දියත් කළ මෙම යුද අභ්‍යාසයේදී මෙම කඳවුරට නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ ත්‍රස්ත නායකයෙකු වන ඩොනී බ්‍රාස්කෝ (Donny Brasco) විසින් අණදීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇත.

එසේම, මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින දියකාවා යුද අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීම සඳහා පකිස්තානු ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් කාන් (Colonel Muhammad Safdar Khan) සහ අභ්‍යාසයේ ප්‍රධාන නිරීක්‍ෂක ලුතිතන් කමාන්ඩර් බාබර් නිසාර් (Lt. Commander Babar Nisar) පසුගිය ඉරිදා (19) දින උදෑසන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි යුද අභ්‍යාස පාලන මැදිරිය වෙත පැමිණියහ.

දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසින් සංචාරයේ නිරත පකිස්තානු ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් කාන් (Colonel Muhammad Safdar Khan) වෙත මෙම අභ්‍යාසය පිළිබඳව දැනුවත් කළ අතර එහිදී, දියකාවා යුද අභ්‍යාසයේ ඉදිරි සැලසුම් පිළිබඳවද පැහැදිලි කළේය. මෙම අවස්ථාවට දියකාවා යුද අභ්‍යාසයේ උපදේශක බ්‍රිගේඩියර් සංඛ ජයමහ ද එක්විය.

මේ අතර, ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසයක් වන දියකාවා යුද අභ්‍යාසයේ පුහුණු කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා පසුගිය බදාදා (22) දින නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය මෙම යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගත්හ.

2021 සැප්තැම්බර් මස 29 දින අවසන්වීමට නියමිත මෙම යුද අභ්‍යාසයේ එක් එක් පුහුණු අදියරයන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් නිරීක්‍ෂණය කරනු ලබයි.