Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2021 20:07:25 Hours

දියකාවා යුද අභ්‍යාසයෙහි පුහුණු මෙහෙයුම සාර්ථකව දියත් කරමින් කොළඹ වරායේ සිරකර සිටින ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක්

යුද්ධ හමුදා භටපිරිස් විසින් දියත් කරනු ලබන දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක් පුහුණු අදියරක් ඉකුත් ඉරිදා (12) දින කොළඹ වරාය පරිශ්‍රයේ දියත්කරනු ලැබු අතර, එහිදි නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන් (East Asian Liberation Fighters') සමඟ යුද්ධ හමුදා භටපිරිස් දියත් කළ ඉතා සැලසුම් සහගත ක්‍රියාන්විතයකින් අනතුරුව වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සිර කරගෙන සිටි කොන්කෝඩියා හි ධීවර හා වරාය ඇමතිවරයා සතුරන්ගෙන් මුදවා ගැනීමට භටපිරිස් සමත්වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියේ සිට මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ පුහුණු අභ්‍යාසයේ නිරතව සිටින 4 වන කමාන්ඩෝ බලකායේ භටපිරිස් උපායමාර්ගිකව සතුරු බලකොටු වෙත ඇතුළුවී ප්‍රාණ ඇපකරුවන් මුදවාගන්නා ආකාරය පිළිබද නිරීක්‍ෂණය කළේය.

මෙම පුහුණු අභ්‍යාසය විශේෂ මෙහෙයුම් ආඥාපතිගේ මඟපෙන්වීම මත කමාන්ඩෝ බලසේනාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැහැරගැනීම් සහ ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ ඒකකයේ භටපිරිස් බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාන්විතය දියත්කරමින් කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයක් තුළ සිරකරගෙන සිටි කොන්කෝඩියාහි ධීවර හා වරාය ඇමතිවරයා නිරුපද්‍රිතව මුදවාගන්නා ලදී.

4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බී. කැකුලාවලගේ අධීක්‍ෂණය යටතේ මෙහෙයවනු ලැබු මෙම පුහුණු අභ්‍යසයේදී භටපිරිස් උතුරු පිවිසුම් මාර්ගයෙන් රහසිගතව ඇතුළු වී යුද උපක්‍රම භාවිතා කරගනිමින් උපායශිලිව කෙටි මාර්ගයන් උපයෝගී කරගනිමින් ප්‍රාණ ඇපකරුවන් සිරකර සිටින ස්ථානය පැහැදිලිව නිරීක්‍ෂණය කරගැනිමෙන් අනතුරුව ප්‍රහාරය දියත්කිරීම හේතුවෙන් සතුරා උපාය මාර්ගිකව කොටුකර ගැනීමට හැකිවිය.

මෙම පුහුණු අභ්‍යාසය තියුණු යුද උපක්‍රම භාවිතා කරමින් දියත්කරනු ලැබු අතර, දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඕමානයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ නිරීක්‍ෂණය කරන ලදී.

මෙම යුද පුහුණු අභ්‍යාසය යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත මැදිරියේ සිට මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ, අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරල් අනිල් සමරසිරී, දියකාවා යුද අභ්‍යාසයේ ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් සංඛ ජයමහා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් නිරීක්‍ෂණය කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් එක් පුහුණු වැඩසටහනක් ලෙස 11 වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි මෙහෙයුම් මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (03) දින දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ, අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ සහ දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.

විදේශීය හමුදා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙවර පැවැත්වෙන 11 වන ‘දියකාවා යුද අභ්‍යාසය’ ත්‍රිවිධ හමුදාවේ සහයෝගීතාවය ගොඩනැගීම සඳහා විශේෂ මෙහෙයුම් බලකායන් (Special Operations Forces) ඒකාබද්ධව පවත්වනු ලබන අතර, ඉන්දියාව, නේපාලය, මාලදිවයින, පාකිස්තානය සහ බංගලාදේශය වැනි විදේශ රටවල් නියෝජනය කරමින් විදේශිය හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින්ගේ සහභාගීත්වයෙන් යුද අභ්‍යාසය ක්‍රියාත්මක කරන ලදී.

පුහුණු කාලසීමාව තුලදී මූලික වශයෙන් සැලසුම් සකස් කිරීම, පූර්ව සුදානම, තාක්‍ෂණික භාවිතය, සමායෝජනය, අණදීම, පාලනය, යුද උපක්‍රමය, ශිල්පීය ක්‍රම සහ කාර්යය පටිපාටියන් මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබදව මෙම අභ්‍යාසයේ දී පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවැති පුළුල් උපදේශන හා සාකච්ඡා වට කිහිපයකදී ලබාදුන් උපදෙස් මත මෙවර පැවැත්වීමට නියමිත දියකාවා යුද අභ්‍යාසය වැඩිදියුණු වී ඇත.

මෙවර යුද අභ්‍යාසය මන්නාරම, විල්පත්තු, අරිප්පු, තුනුක්කායි, වව්නිකුලම්, නැදුන්කර්නි, චුන්ඩිකුලම්, නයාරු, තිරියාය, නිලාවේලි, තෝපූර්, ඉලංකන්තෙයි, වාකරෙයි, තෝනිත්තත්තුමඩු, නරකමුල්ල, කංචිකුඩිච්චිආරු, චෙන්කල්අඩි, දඹුල්ල, මොරගහකන්ද, මීමුරේ, කොළඹ, දික්ඕවිට යන ප්‍රදේශ ආවරණය කරමින් පවත්වා අවසන් ප්‍රහාරත්මක යුද අභ්‍යාසය 2021 සැප්තැම්බර් මස 25 දින පැවැත්වීමෙන් අනතුරුව සමාප්ති උත්සවය 2021 සැප්තැම්බර් මස 26 දින පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාස ඉතිහාසයේ ප්‍රථම වරට සන්නද්ධ බලසේනාව, යාන්ත්‍රික පාබල බලසේනාව, ගුවන් සංක්‍රමික බලසේනාව, 583 වන පාබල බලසේනාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බලකාය එක්ව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව “ජෛව බුබුළු සංකල්පය” යටතේ මෙවර යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

මෙවර පැවැත්වෙන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා නිලධාරින් සහ නිරික්‍ෂකයින් ඇතුළු 2846 දෙනෙකු සහභාගි වේ. මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති දියකාවා යුද අභ්‍යාසයේ සමාරම්භක උත්සවයට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ (Zoom technology) අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික, පුහුණු අධ්‍යක්‍ෂ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ, විශේෂ බලකා බලසේනාවේ භටපිරිස්, කමාන්ඩෝ බලසේනාවේ භටපිරිස්, නාවික හා ගුවන් හමුදා භටපිරිස් සම්බන්ධ වූහ.

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක් විසින් පාලනය කරනු ලබන රටක භෞමික අඛණ්ඩතාව අභියෝගයට ලක් කරන රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ බලපෑමකට ලක්වූහොත් ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය පිළිබඳවත් ඉදිරියේදී සිදුවිය හැකි ආරක්‍ෂක තත්ත්වයක් ගම්‍යවන පරිදි මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර ඇත.

අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් හා සහභාගීවන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දැණුම සම්ප්‍රේරණය කිරීමට සහ යුදමය අත්දැකීම් හුවමාරු කරගැනීමට අතිශය පුළුල් සහ වඩාත් පරිපුර්ණ පුහුණු අභ්‍යාසයක් ලෙස වසර ගණනාවක් පුරා මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

විශේෂ මෙහෙයුම් සඳහා සහභාගිවන භටපිරිස්වල කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම, ක්‍රියාන්විත සූදානම සහ භටපිරිස්හි සූදානම වැඩිදියුණු කිරීම මෙම අභ්‍යාසයේ ප්‍රධානතම ඉලක්කයන් විය.

යුද්ධ හමුදාවක තිබිය යුතු වෘත්තීය නිපුණත්වය හා එම දැණුම බෙදාහදා ගැනීම, ඒකාබද්ධ මෙහෙයුම්වල ස්වභාවයක් වන ‘අන්තර්ක්‍රියාකාරී හැකියාව’ ප්‍රගුණ කිරීම, විවිධාකාර වු පරිසර වල විවිධාකර වු විධාන මට්ටම් වල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම, පොදු අවබෝධය වර්ධනය කිරීම, හමුදා න්‍යායික දැනුම ප්‍රායෝගිකව යෙදවීම හා පරික්‍ෂාව මෙන්ම විශේෂ මෙහෙයුම් වල මූලධර්ම පුහුණු කිරීම සහ එම මෙහෙයුම් වලට දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම යන කරුණු මෙම යුද අභ්‍යාසය මඟින් ප්‍රවර්ධනය කෙරිණි.