Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2023 19:41:05 Hours

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ මූලික සහතිකපත්‍ර පාඨමාලා අංක - 130 සාර්ථකව අවසන්

බූවැලිකඩ සංඥා පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ මූලික සහතිකපත්‍ර පාඨමාලා අංක - 130 හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සඳුදා (17) දින එම පුහුණු පාසල් පරිශ්‍රෙය්දී පැවැත්විණි.

මෙම සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූළ කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සංඥා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ඒ.කේ. ජයවර්ධන පිඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සහතිකපත් ප්‍රධානෝත්සවයේදී ශ්‍රී ලංකා සංඥා බලකායේ විවිධ ඒකකයන් නියෝජනය කරමින් පාඨමාලාව සඳහා සහභාගී වූ සංඥා සෙබලුන් 50 දෙනෙකු සහ කාන්තා සංඥා සෙබලියන් 3 දෙනෙකු වෙත නිල ලාංඡන ප්‍රදානය කරන ලදී. පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලා ලෙස 11 ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල පී.ඩබ්ලිව්.ජී.එම්. නවරත්න තේරීපත්විය‍.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව පාඨමාලාව හැදෑරූවන් වෙත සුබපැතුම් එක්කළ අතර ඔවුන්ගේ අනාගත වෘත්තීය අභිවෘද්ධිය උදෙසා උපදෙස් ද ලබාදුන්නේය. ඉන් අනතුරුව, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශ පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් කිරීමක් ද සිදුකෙරිණි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව දින පනස් අටක් පුරාවට පැවැත්වූ අතර එහිදී, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ සියලුම මූලික අංශවල න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඇතුළත් කර තිබිණී. යුද්ධ හමුදාවේ අණදීම, පාලනය සහ පරිපාලනය සඳහා අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සැපයීමේදී සුදුසුකම් ලත් භටපිරිස් වශයෙන් තම වෘත්තීයේ නියැළීමේ හැකියාව මෙම පාඨමාලාව තුලින් ලැබේ.