Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2023 07:02:58 Hours

ඩෙංගු මර්දන ව්‍යාපෘතියට යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වය

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන ව්‍යාපෘතියට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141, 142 සහ 144 පාබල බලසේනා යටතේ රාජකාරියේ නියුතු සියයකට අධික භටපිරිසක් සෞඛ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් සමඟ එක්ව මැයි මස 13 සිට 15 දින දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ ඩෙංගු අවදානමට ලක්විය හැකි ප්‍රදේශ සහ නිවාස සංකීර්ණ පරීක්‍ෂා කරන ලදී.

පිටකෝට්ට, මිරිහාන, උඩහමුල්ල, මාදිවෙල, මහරගම, පිළියන්දල, වේරහැර, බොරලැස්ගමුව, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරිබත්ගොඩ, වැලිවේරිය, බෙල්ලන්විල, කැලණිය, බෙම්මුල්ල, රාගම, කඩුවෙල, මාලඹේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන දියත්කරන ලදී.

ඩෙංගු මර්දන ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථකව සිදුකරගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් මෙම වැඩසටහන සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය කාර්යාලය, වෛද්‍ය කාර්ය මණ්ඩලය, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය ආයතන සමඟ එක්ව ඩෙංගු මර්දන ව්‍යාපෘතිය සඳහා සිය දායකත්වය දක්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 142 හා 144 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ 06 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 15 ඩ්‍රෝනා රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව, 8 ශ්‍රී ලංකා පාබල හමුදාව, 21 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 7 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව සහ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඩෙංගු මර්දන ව්‍යාපෘතිය සඳහා සහභාගී වූහ.

දින තුනක් පුරා දියත්කරනු ලැබු ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අවට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කරන ලදී.