Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2023 20:40:25 Hours

ඩෙංගු උවදුර මර්ධනයට යුද්ධ හමුදාවේ දායකත්වය

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු මදුරුවන් බෝවීම මර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය නගර සභා සේවකයින් සහ සිවිල් වැසියන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව යුද්ධ හමුදා භටපිරිස් විසින් දීපව්‍යාප්ත ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනාවේ භටපිරිස් විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ පවතින අත්තනගල්ල සහ කොටිකාවත්ත වැනි අධික අවදානම් සහිත ප්‍රදේශ ආවරණය කරමින් 2023 පෙබරවාරි මස 6 සිට 11 දින දක්වා මෙම ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 141 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 144 වන බලසේනාව යටතේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු පිරිසක් සක්‍රීයව සිය දායකත්වය ලබාදුන්හ.

144 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින මුල්ලේරියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පිහිටි කැලණිමුල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ තවත් ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් සාර්ථක අයුරින් ක්‍රියාවට නංවා තිබුණි.

මෙම ව්‍යාපෘතිය අතරතුර නිවාස, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් පොදු ස්ථානයන් පරීක්‍ෂාවට ලක් වූ අතර, එම ප්‍රදේශවල ජනතාවට ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතියේ සියළු අධීක්‍ෂණ කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම මත, අදාළ ප්‍රදේශයන්හි සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුවිය.