03rd June 2024 19:44:42 Hours
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා ආශ්රිත පහත් බිම්වල ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන් මුදාගැනීමට සහ ආපදා සහන ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබේ.
අධික වර්ෂාපතනය අඛණ්ඩව පවතින බැවින්, මහජන ජීවිතවලට හා දේපළවලට සිදුවන ආපදාවන්ට සහ සිදුවන හානිවලට ප්‍රතිචාර දැක්වීමට යුද්ධ හමුදා භටපිරිස් දිවයින පුරා සූදානම්ව සිටිති. තවද, දෙහිඕවිට (තල්දූව), ඉඩම්ගොඩ, කලවාන, ඇලපාත, අයගම, නෙළුව, බුලත්සිංහල, අගලවත්ත, තිහගොඩ, බද්දේගම, ඇල්පිටිය, දිවිතුර, තවලම, මාලිම්බඩ, අතුරලිය, මොරවක, අකුරැස්ස, සීතාවක, කැලණිමුල්ල තිහගොඩ (නාරංගොඩ) සහ කඹුරුපිටිය (ගොඩව) යන ප්‍රදේශවල භටපිරිස් විසින් බෝට්ටු සමඟින් මුදවාගැනීම්, පිළිසකර කිරීම් සහ සහන සේවා ක්‍රියාත්මක කරමින් පවතී.
කැලණිමුල්ල ප්‍රදේශයේ කැලණි ගං ඉවුර ඛාදනය වූ ප්‍රදේශ පිළිසකර කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් 2024 ජූනි මස 02 දින කඩිනමින් ක්‍රියාන්විතයක් දියත් කළහ.
මේ අතර, කළුතර, මාතර සහ ගාල්ල යන ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු සඳහා ‘Unibuffel’ සහ ‘WMZ’ සන්නද්ධ රථයන් ද යොදවා ඇත. අකුරැස්ස, මාලිම්බඩ, නෙළුව සහ සාලාව යන ප්‍රදේශවල අවතැන් වූවන් වෙනුවෙන් ආහාර සැපයීම සඳහා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් ආහාර පිසීමේ කටයුතු මෙන්ම පානීය ජලය සහ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් පවතී.
පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ රථ යොදාගනිමින් ගංවතුරට හසු වූ අවුරුදු එකත් - තුනත් අතර ළමුන් අතුරලිය සෞඛ්‍ය කාර්යාලයේ සිට අකුරැස්ස සෞඛ්‍ය කාර්යාලය වෙත ආරක්ෂිතව රැගෙන යාම සඳහා කටයුතු කරනු ලැබීය.
මීට අමතරව, ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල අවතැන් වූ ජනතාවට ආහාර සැපයීම, විදුලිය හා සන්නිවේදන සේවා යථා තත්ත්වයට පත්කිරීම සහ ආපදා සහන ක්‍රියාන්විතයන් දියත් කිරීම සඳහා ද යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබේ.