Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2016 00:06:30 Hours

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 26 වන උපාධි ප්‍රදානොත්සවය බදාදා (02) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

එම උපාධි ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි විය.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී ආරක්ෂක අධ්‍යන විෂය, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු, ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යා, සමාජ විද්‍යාව, හමුදා විෂයන් සහ ගුවන් සේවා අධ්‍යනය සඳහා වූ ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි සහ උපාධි ප්‍රදානය කළ අතර, පශ්චාත් උපාධි සඳහා 166 දෙනෙක් ද උපාධි පාඨමාලා සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බඳවා ගැනීම් අංක 29 සහ 30 ද ඇතුළත්ව 542 දෙනෙක් ද මෙහිදී උපාධි හිමි කරගනු ලැබීය.

මෙහිදී බඳවාගැනීම් අංක 29 ට අයත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිතන් ඩබ්ලිව්.කේ.කේ මීපාගල යුද හමුදාවේ දක්ෂතම නිලධාරියාට හිමි අසිපත හිමි කර ගැනීමට සමත් විය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරල් ජගත් රණසිංහ විසින් මෙම අවස්ථාව සිහිගන්වමින් අතිගරු ජනාධිපතිතුමා හට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති අද්මිරාල් දයා සඳගිරි, තානාපතිවරුන්, විශ්ව විද්‍යාල කුලපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, යුද හා නාවික හමුදාපතිවරුන්, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ දෙමව්පියන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Best Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1