15th October 2024 20:41:17 Hours
එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති ලුතිනන් ජෙනරල් ඇරොල්ඩෝ ලසරෝ සෙන්ස් (Lieutenant General Aroldo Lazaro Saenz) සමඟින් ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි 2024 ඔක්තෝම්බර් මස 12 දින ලෙබනනයේ, ‘ටයර්’ (Tyre) ප්‍රදේශයේ පිහිටි ජැබෙල් ආමේල් (Jabel Amel) රෝහලේ සංචාරයක නිරතවිය. ලෙබනනයේ, නකෝරා ප්‍රදේශයේ ස්ථාපිත ලෙබනන් එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ආරක්ෂක රාජකාරීන්වල යෙදී සිටියදී තුවාල ලැබූ සෙබලාගේ සුවදුක් විමසීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරනු ලැබීය.
මෙම සංචාරය අතරතුර, ලුතිනන් ජෙනරල් ඇරොල්ඩෝ ලසරෝ සෙන්ස් තුවාල ලැබූ සෙබලා වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කළ අතර ඔහුගේ ප්‍රතිකාර තත්ත්වයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබැලූ අතර එම රෝහල් වෛද්‍ය බලධාරින් හමුවී එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථාන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර උසස් මට්ටමින් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් පෙන්වා දුන්නේය. එම රෝහල් පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් රණක්ෂිතයට පත්ව සිටින එම සෙබලාගේ කාර්යභාරය ද ඇගයීමට ලක්කරමින් එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සමරු කාසියක් ඔහුට පිරිනැමීය. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ රාජකාරීන්හි නිරතව සිට තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් එතුමන් එම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද පැසසුමට ලක්කළේය.