Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2023 08:24:16 Hours

ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඉන්දියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසුනිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බදදා( නොවැම්බර් මස 15) දින සන්ධ්‍යාවේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය එළඹෙන බ්‍රහස්පතින්දා (16) දින ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා 330 පාබල බලසේනා මූලස්ථානයේදී ආරම්භ වන අතර 2023 නොවැම්බර් මස 29 දින දක්වා පැවැත්වේ.

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගි වන භටපිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, යුද සහයෝගීතාවය, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කරගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක අභියෝගයන් සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම යුද අභ්‍යාසය 2012 වර්ෂයේ සිට පැවැත්වෙයි.

මෙම යුද අභ්‍යාසයේ සමස්ථ සම්බන්ධීකාරක ලෙස 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී කටයුතු කරනු ලබන අතර අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ කර්නල් කර්නල් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් බී.වයි. නානායක්කාර ආර්එස්පී පිඑස්සී සහ භඨකාර්ය සම්පාදන නිලධාරි කර්නල් ආර්.එම්.එස්. රණසිංහ කටයුතු කරනු ලබයි.

යුද අභ්‍යාස මාලාවේ 9 වන අභ්‍යාසය වශයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය තුළින් විශේෂයෙන්ම කැරලි මර්දන සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පසුබිමක ක්‍රියාන්විත සිදුකිරීමේදී අවශ්‍ය විශේෂඥ දැනුම ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ලබයි. අවි පුහුණුව, මූලික යුද උපක්‍රම සහ සංකීර්ණ සටන් උපායමාර්ගයන් ද මෙම යුද අභ්‍යාසයට ඇතුළත් වේ.