Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2023 09:03:54 Hours

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උත්සවයේ ‘ශූරතා ප්‍රදානය කිරීම’ සහ ‘ආරක්‍ෂක සේවා ක්‍රීඩා 22/23’ හි 12 වන සංස්කරණයේ සමාප්ති උත්සවය පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති ප්‍රමුඛ ගෞරවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පිළිගැනීමේ කථාව පැවැත්වීමෙන් අනතුරුව ශූරතා ප්‍රදානය කරනු ලැබීය.

එහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්ගේ සුරතින් ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන ප්‍රදානය කළහ.

2022-2023 වසර සඳහා වන 12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවක් රන් පදක්කම් 147 ක්, රිදී පදක්කම් 144 ක් සහ ලෝකඩ පදක්කම් 112 ක් දිනාගැනීමට සමත්වූහ.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් දෙවන අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවටත් හිමිවූහ.

ක්‍රීඩා උළලේ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී කණ්ඩායම් සහ ඒකළ ඇතුළු විවිධ කාණ්ඩ 38 ක් යටතේ ජයග්‍රාහකයන් වෙත කුසලාන ප්‍රදානය කරනු ලැබීය.

ත්‍යාග ප්‍රධානෝත්සවය සමාප්තියේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රාසාංගික කලාකරුවන්ගේ මූලිකත්වයෙන් පැවති සංගීතමය වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවන්හි සියලු නිලයන් සහ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.