Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2024 12:05:16 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් දමිළ භාෂා පාඨමාලාවක් ඇරඹේ

භාෂාමය සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 75 දෙනෙකු වෙනුවෙන් මාස හයක දමිළ භාෂා පාඨමාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2024 පෙබරවාරි මස 10 දින පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගි විය. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත එම ප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු සිසුවියන් වෙනුවෙන් හඳුන්වාදෙන ලද මෙම භාෂාමය පාඨමාලාව මේ වනවිට වැලිකන්ද, සෙවනපිටිය සහ කොකඩිචෝලෙයි යන ප්‍රදේශවල ද ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමාජ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් භාෂා ප්‍රවීණත්වයේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය. එමෙන්ම, මෙම පාඨමාලාව සාර්ථකව පැවැත්වීම සඳහා සමඟි දේශිය සංවිධානයේ සභාපතිනි සුමිත්‍රා රත්නායක මහත්මිය විසින් ලබාදුන් මූල්‍යමය දායකත්වය වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර මහතා සිය කෘතඥතාවය පළකරන ලදී.

මෙම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කන්තලේ කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් පිරිසක් ද සහභාගී වූහ.