Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2023 09:04:52 Hours

අභාවප්‍රාප්ත කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

වසර 25 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභාවප්‍රාප්ත කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා සාමාජිකයින්, පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සඳුදා (11) දින මධ්‍යහනේ සිදුකෙරිණි.

දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු පිරිස් සහභාගි වූහ.

කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාලතුවක්කු ගැල (gun carriage) මත අභිමානවත් අයුරින් තැන්පත් කර යුද්ධ හමුදා භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) ගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ අභාවප්‍රාප්ත කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, අභාවප්‍රාප්ත කර්නල් ආර්. හරේන්ද්‍ර (විශ්‍රාමික) ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සිහිපත් කරන ලදී.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් අභාවප්‍රාප්ත කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ අභාවප්‍රාප්ත කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) ගේ පවුලේ සාමාජිකයන් ද සහභාගී වූහ