Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පුහුණුව

යුද්ධ හමුදාවේ පුළුල්වීමත් සමඟ සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන තර්ජනවලට මුහුණ දීම සඳහා, ඊට සුදුසුකම් ලත්, දක්‍ෂ හා කාර්යක්‍ෂම හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පුහුණු කිරීම සඳහා යුද්ධ හමුදා පුහුණු පාසල් දිවයින පුරා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසුව අධිකාරිලත් නව නිලධාරින් සඳහා තරුණ නිලධාරි පාඨමාලාව ප්‍රධාන පුහුණු පාසල් තුනකින් අදියර තුනක් යටතේ පවත්වනු ලබයි. එහිදී, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල මඟින් ප්‍රතිත්‍රස්ථ සහ මූලික කැලෑබද සටන් පුහුණුව ද, කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසල මඟින් ශාරීරික යෝග්‍යතා වැඩිදියුණු කිරීමේ පාඨමාලාව ද හදාරනු ලබයි. අනතුරුව, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මඟින් ප්‍රධාන අදියර තුනක් යටතේ ඛණ්ඩ ආධාරක අවි පිළිබඳ පුහුණුව ලබාදේ. තවද, එම නිලධාරීන් හට ඔවුන්ගේ මව් රෙජිමේන්තුවට ආවේණික වූ දැනුම ලබාදීම එම රෙජිමේන්තු වලට අදාළ පුහුණු පාසල් මඟින් සිදුකරනු ලැබේ. මීට අමතරව, එම නිලධාරීන්ගේ විවිධ විශේෂිත ක්ෂේත්‍රයන්හි කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පුහුණු අවස්ථා රැසක් ලබා දී ඇත.

තවද, යුද්ධ හමුදා යුද විද්‍යාල තුලින් යුද්ධ හමුදාවේ මාණ්ඩලික රාජකාරි, යුද මෙහෙයුම් සහ හමුදා පරිපාලනය පිළිබඳ නිලධාරින් සතු දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්ථාව උදාකර දී තිබේ. මෙම විද්‍යාලය මඟින් නිලධාරීන් සඳහා ප්‍රධාන පාඨමාලා තුනක් පවත්වනු ලැබේ. එම පාඨමාලාවන් වනුයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරී පාඨමාලාවයි. එමඟින් නිලධාරීන්ට මාණ්ඩලික රාජකාරි සහ යුධ මෙහෙයුම් සඳහා අණදීම, ප්‍රති-ත්‍රස්ථ මෙහෙයුම් සහ උපායමාර්ගික අධ්‍යයන වැනි බොහෝ විෂයයන් අධ්‍යනය කිරීමට අවස්තාව උදාවේ. මීට අමතරව, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මඟින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව පවත්වනු ලැබේ. සෑම ත්‍රිවිධ හමුදා නිලධාරියෙකුම එම පාඨමාලාව සඳහා ඇතුළත් වීමට ප්‍රථම මූලික තෝරාගැනීමේ විභාගයකට මුහුණ දීමට සිදුවන අතර ඉන් සමත්වන නිලධාරින්ට පමණක් පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමිවේ. යුදමය කාලසීමාවන්, සාමකාමී කාලසීමාවන් සහ යුධමය නොවන අනෙකුත් මෙහෙයුම් වලදී අණදීම සහ භටපිරිස් යෙදවීම පිළිබඳ අවශ්‍ය ශිල්පීය ක්‍රම භාවිත කිරීම සබැඳිව දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ මූලික අරමුණ වේ. මීට අමතරව, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ භූමිකාවන්, ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තින් සැකසීමේ යාන්ත්‍රණය සහ යුද මූලධර්ම සමඟ එහි සම්බන්ධය අවබෝධ කරගැනීම, එදිනෙදා ජීවිතයේදී මෙන්ම මෙහෙයුම් පරිසරය තුළදී ගැඹුරු විශ්ලේෂණාත්මක චින්තනය සහ තර්කන හැකියාව වර්ධනය කිරීම, ඒකාබද්ධ, අන්තර් සේවා සහ අන්තර් නියෝජිතායතන සමඟ සිදුකරන මෙහෙයුම් පිළිබඳ පුළුල් අවබෝධයක් වර්ධනය කිරීම, වාචිකව සහ ලිඛිතව සන්නිවේදනය කිරීමේ කුසලතා වර්ධනය කිරීම මෙම පාඨමාලාව මඟින් සිදුකරනු ලබයි.

යුද්ධ හමුදාවට කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට විවිධ විෂය ක්‍ෂේත්‍රයන් ඔස්සේ උපාධි පිරිනැමීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත යොමු කරනු ලබයි.

ජාතික ආරක්‍ෂක විද්‍යාලය මෙරට ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ජාතික ආරක්‍ෂාව, රාජ්‍ය පාලනය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව යන ක්ෂේත්‍රවල අනාගත ප්‍රතිපත්ති සම්පාදකයන් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපාය මාර්ගික අධ්‍යාපන ආයතනය ලෙස ආරම්භ කරන ලදී. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වෘත්තීයමය උපදෙස් සැපයීමට හැකි දක්ෂ උපාධිධාරීන් බිහි කිරීම සඳහා ජාතික ආරක්‍ෂක විද්‍යාලය උසස් තත්ත්වයේ වෘත්තීය අධ්‍යාපනයක් ලබාදෙමින් ත්‍රිවිධ හමුදාවේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා මහඟු කාර්යයක් ඉටුකරයි. වෘත්තීයමයභාවය තුළින් ජාතික ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සිවිල්-හමුදා සහයෝගීතාව වර්ධනය කිරීමට හැකියාව ලැබේ. ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පශ්චාත් උපාධි පිරිනැමීම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව සිදුකරනු ලබයි.

Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

යුද්ධ හමුදාවට එක්වන සෙසු නිලයන් මූලික බඳවා ගැනීමෙන් අනතුරුව පුහුණුව සහ අනෙකුත් විශේෂ පුහුණුවීම් යුද්ධ හමුදා පුහුණු පාසල් සහ බදවාගැනීම් සිදුකරනු ලැබූ රෙජිමේන්තු මධ්‍යස්ථාන යටතේ ලබාදීමට පියවර ගනී. සෙසු නිලයන් යුද්ධ පුහුණු පාසල, පාබල පුහුණු මධ්‍යස්ථානය, සටන් පුහුණු පාසල, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල, ප්‍රගුණ හා සැඟවුණ වෙඩික්කරු පුහුණු පාසල සහ තවත් රෙජිමේන්තු පුහුණු පාසල් කිහිපයක් යටතේ විශේෂයෙන් සැලසුම් කරන ලද පුහුණු පාඨමාලා හැදෑරිය යුතුය.

ප්‍රභූ ආරක්‍ෂක බලකායන් සඳහා තෝරා ගන්නා නිලධාරීන් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල සහ විශේෂ බලකා පුහුණු පාසල මගින් පවත්වනු ලබන විශේෂ පුහුණු පාඨමාලාවන් හැදෑරිය යුතුය.

වර්ෂ 1949 දී ශ්‍රී ලංකාව තුල යුද්ධ හමුදාව ස්ථාපනය කරන ලද අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ අවශ්‍යතාවය මතු විය. එබැවින් වර්ෂ 1950 පෙබරවාරි මස 06 වන දින දියතලාව ප්‍රදේශයේ යුද්ධ හමුදාව සඳහා ආධුනිකයින් බඳවා ගැනීමේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවන ලද්දේ එම බඳවා ගන්නා අයවලුන් පුහුණු කිරීමේ අරමුණින්ය. වර්ෂ 1950 ජූනි මස 02 දින පුහුණු මධ්‍යස්ථානය වෙතින් බඳවා ගත් 114 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම පුහුණුවෙන් පසුව විසිර ගියහ. ආධුනිකයින් බඳවා ගැනීමේ පුහුණු මධ්‍යස්ථානය පසුව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය ලෙස නම් කරන ලදී. නමුත් එහි නිලධාරීන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් නොතිබුණු බැවින් නිලධාරීන් පුහුණු කිරීමට එක්සත් රාජධානියේ ‘සෑන්ඩර්ස්ට්’ හි රාජකීය හමුදා විද්‍යාපීඨය වෙත කැඩෙට් නිලධාරින් පිටත්කර යවන ලදී. වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 වන දින හමුදාවට බඳවා ගන්නා ලද පළමු කැඩෙට් නිලධාරි කණ්ඩායම එම විද්‍යායතනයට යොමු කළහ.

ඉන්පසුව, මෙරට කැඩෙට් නිලධාරින් ඉන්දියානු සහ පකිස්තානු හමුදා විද්‍යාපීඨයන්හි පුහුණු වීම් කටයුතු සිදුකරන ලදී. යුද්ධ හමුදාවේ බදවා ගැනීම් වර්ධනය වීමත් සමඟ එම පුහුණු අවශ්‍යතා සපුරාලීමට විදේශීය පුහුණුව ප්‍රමාණවත් නොවූ බැවින්, කැඩෙට් නිලධාරීන් දේශීයව පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී. එහි ප්‍රථිපලයක් වශයෙන් දියතලාව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබීමට නියමිත පළමු කැඩෙට් නිලධාරින් කණ්ඩායම වර්ෂ 1968 අප්‍රේල් මස 16 වැනි දින බඳවා ගන්නා ලදී. එතැන් සිට, කැඩෙට් නිලධාරීන් දේශීයව පුහුණු කිරීම සහ අධිකාරියට පත්කිරීම ආරම්භ කරනු ලැබිය. යුද්ධ හමුදාවට නිලධාරීන් සහ සෙසුනිලයින් බඳවා ගැනීම ඉහළ යාමත් සමඟ ඔවුන් පුහුණු කිරීම සඳහාවන පුහුණු පාසල්වල අවශ්‍යතාවය ඉස්මතුවිය.

එබැවින් සෙබළුන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම ඔවුන් අනියුක්තකරන ලද රෙජිමේන්තුවලට පවරන ලදී. වර්තමානය වන විට කැඩෙට් නිළධාරීන් හයසියයකට අධික සංඛ්‍යාවකට පුහුණුවීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් මෙහි සලසා ඇත. වසර දෙකක පුහුණු කාලය තුළ කැඩෙට් නිලධාරීන් නායකත්ව පුහුණුව, යුධ උපක්‍රම, ආයුධ පුහුණුව, යුද්ධ හමුදා නීතිය, හමුදා ගිණුම්කරණය සහ ශාස්ත්‍රීය අධ්‍යයනය පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම මෙහිදී සිදුකරනු ලැබේ. තවද, කැඩෙට් නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සඳහා පුහුණුවීමේ පළමු මාස හය තුළ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් පවත්වනු ලැබේ.

වර්ෂ 1972 දී යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය වෙත ජනාධිපති වර්ණ හා යුද හමුදා පුහුණූ මධ්‍යස්ථාන වර්ණ පිරිනමන ලදි. පසුව එය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ලෙස නාමකරණය වීමෙන් පසුව, වර්ෂ 1997 ජුනි මස 21 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය වෙත පිරිනමණ ලද ජනාධිපති වර්ණ හා යුද හමුදා පුහුනු මධ්‍යස්ථාන වර් නැවත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත ලබාදෙමින් වර්ණ ප්‍රථිප්‍රදානය කරන ලදී.

මව්බිමට ඇතිවිය හැකි තර්ජනයන් මැඩපැවැත්වීම මෙන්ම මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතුව පවතී. තර්ජනයන් සාමකාමීව මැඩපැවැත්වීමට නොහැකි අවස්තාවන්හීදී සටන් කර හෝ රටතුල සාමය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික හැකියාව යුද්ධ හමුදාව සතුවිය යුතුය. එමෙන්ම අනෙකුත් සන්නද්ධ සේවාවන්ගේ සහාය ඇතිව ඕනෑම අවස්ථාවක ඒකාබද්ධ ක්‍රියාන්විතයන්හි නිරත වීමටත්, යෙදවීමටත්, අඛණ්ඩව සටන් කිරීමටත් යුද්ධ හමුදාවට හැකියාව සතුය.

යුද්ධ හමුදාවේ පුහුණුව හා සංග්‍රාමභූමියේදී ලද සාර්ථකත්වය අතර ඇති සෘජු සම්බන්ධතාවය යුද ඉතිහාසය තුල මනා ලෙස පෙන්නුම් කරයි. සංග්‍රාමභූමියේ සතුරු ඉලක්ක පරාජය කර ගැනීමට යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සංග්‍රාමභූමියේදී ඔවුන් සතුව ජයග්‍රහණයේ වාසිය මෙන්ම ආරක්ෂා වී සිටීමේ හැකියාව උපරිම බව තහවුරු කරගත යුතුයි. එැවින් සංග්‍රාමභූමියේදී ඕනෑම අසීරු අවස්ථාවක සාර්ථකත්වය ලගා කරගැනීමට සෑම නිලයක් සඳහාම මනා පුහුණුවක් අවශ්‍ය වේ.

පුහුණුව යනු සොල්දාදුවන්ට, නායකයින්ට සහ ඒකකවලට තම මෙහෙවර ඉටු කිරීමට හැකි වන පරිදි තිබිය යුතු උපායික හා තාක්ෂණික ප්‍රවීණතාවය සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයයි. යුද පුහුණුව සැලසුම් කර ඇත්තේ සතුරාගේ වපසරිය තුල ඇති විය හැකි වෙනස්වීම් වලට එරෙහිවය. එබැවින්, සියලුම නිලධාරීන් සහ සොල්දාදුවන් හට නව ශිල්පීය ක්‍රම සහ කුසලතා පිළිබඳ මනා පුහුණුවක් ලබාදීම සඳහා උපායශීලී, තාක්‍ෂණික සහ පරිපාලන මූලධර්මවල නවතම වර්ධනයන් පිළිබඳව සියලු අණදෙන්නන් සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය වේ.

වර්තමානය වන විට යුද්ධ හමුදාවේ සෑම ක්‍ෂේත්‍රයක් සඳහාම වාර්ෂිකව නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් විදෙස් රටවල් සඳහා පිටත්ව යනු ලැබේ. .