Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 20:29:32 Hours

විදේශ විනිමය ඉතිරි කරමින් යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය ප්‍රතිසංස්කරණය කරන ලද රථවාහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යුද්ධ හමුදාවේ රථ වාහන නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත එම බලකාය විසින් පසුගියදා මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද Toyota Camry රථයක් සහ Mitsubishi Lancer CS-1 මාදිලියේ මෝටර් රථ දහයක්, CS II මාදිලියේ රථ වශයෙන් ප්‍රතිසංස්කරණය කර යුද්ධ හමුදාවේ භාවිතය සඳහා එක්කරන ලදී. මෙම මෝටර් රථ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් බදාදා (ජනවාරි මස31) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පරීක්‍ෂා කරනු ලැබීය.

නවතමයෙන් අළුත්වැඩියා කරන ලද මෙම වාහන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දීම සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් කාලෝචිතව ගනු ලැබූ මෙම උත්සාහය ඇගයීමට ලක් කරන ලදී. තවද, නවීකරණය කරන ලද වාහන සඳහා වන අමතර කොටස් සහ අනෙකුත් කොටස් වෙනුවෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වීම පිළිබඳවද එහිදී සිය ප්‍රශංසාව පල කළේය.

විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරමින් මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල - කොළඹ, කටුබැද්ද, උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය සහ තවත් මූලික වැඩපල කිහිපයක් දිවයින පුරා ස්ථාපනය කර ඇත. මෙමගින් පාපැදි, යතුරුපැදි, සැහැල්ලු වාහන, වෑන්, ලොරි, ට්‍රක්, බර වාහන සහ බස් රථ ආදිය යුද්ධ හමුදාවේ භාවිතයට පෙර නවීකරණය කරීම, අලුත්වැඩියා කිරීම සහ තීන්ත ආලේප කිරීම ආදී කටයුතු සිදුකරයි.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල - කොළඹ අධීක්‍ෂණය යටතේ මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විධායක ජෙනරාල්, උපකරණ මාස්ටර් ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.