Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2024 16:13:00 Hours

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරී භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී භටපිරිස් විසින් හමුදා ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් සිකුරාදා (ජනවාරි මස 05) දින සංවිධානය කරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව, එතුමන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න පිළිරුවට පුෂ්පෝපහාර පුදකළේය.

හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එතුමන් ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව රෙජිමේන්තු කාර්යය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

උත්සව කටයුතු අවසන් කරමින් එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ අතර, එහිදී භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ. මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.