Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2024 20:44:02 Hours

යුද්ධ හමුදා මූලස්ථානය සම්ප්‍රදායානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු අරඹයි

2024 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (ජනවාරි මස 01) දින උදෑසන පැවති උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ පැමිණීමත් සමඟ උත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරිණි. ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන්ගෙන් සැදුම්ලත් පෙළපාලිය අභිමුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පිළිවෙලින් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය ඔසවනු ලැබූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ සියලු නිලයන් විසින් ජාතික ගීතය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මූලිකත්වයෙන් රාජ්‍ය ප්‍රතිඥාව කියවීම සිදුකෙරිණි.

රාජ්‍ය ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයන් ආමන්ත්‍රණය කරමින්, ඔවුන් විසින් පසුගිය දශක කිහිපය තුළ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවීමෙන් සිදුකළ කාර්යභාරය පිළිබඳ මතකයන් ආවර්ජනය කළ අතර, රටේ යහපත වෙනුවෙන් යුද්ධ හමුදාවට පැවරී ඇති නව වගකීම් හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිළි කළේය.

ප්‍රථමයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයන් ආමන්ත්‍රණය කරමින්, ජීවිත පුජා කරමින් සටන්වැදි විරෝදාර රණවිරුවන් මෙන්ම රණක්‍ෂිතයට පත්වූ රණවිරුවන්ද ගෞරවාදරයෙන් සිහිපත් කරන ලද අතර, ඔවුන් අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායිද ප්‍රාර්ථනා කරමින් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අගනා සේවය වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය හා ඉදිරි ප්‍රගමනය උදෙසා උපරිම සහයෝගය සහ මගපෙන්වීම ලබාදෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකතුමන්, ආරක්‍ෂක ලේකම්තුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සිහිපත් කලේය.

මානුෂීය මෙහෙයුම පැවති කාලයේදී සහ පශ්චාත් යුද වාතාවරණය පැවති කාලවලදී පවා විශිෂ්ට ලෙස ක්‍රියා කළ යුද්ධ හමුදා භටයිපිරිස්හි ඉහළ විනය සහ කාර්යක්ෂමතාවය ද එතුමන් මෙහිදී සිහිපත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මාතෘභූමිය ආරක්‍ෂා කරමින් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවීම යුද්ධ හමුදාවේ ප්‍රධාන වගකීම බව අවධාරණය කරමින් සිය ජීවිතයේ දැඩි අභියෝග මධ්‍යයේ සිය රාජකාරියේ යෙදී සිටින භට පිරිස්‌වලට ස්තුතිය පුද කළේය.

පසුගිය වසර තුළ යුද්ධ හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ, විශ්‍රාමික රණවිරුවන් හා රණවිරු පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් සේවාවන් රැසක් ඉටුකිරීමට හැකි වීම පිලිබඳව සිය ප්‍රශසාව පල කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉටු කරන මහගු කාර්යය පිළිබඳවද කෘතඥතාවය පල කලේය.

අවසන් වශයෙන්, සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් සේවක කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම නව බලාපොරොත්තු ඉටුවන, සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කළේය.

යුද්ධ හමුදාධිපත්තුමන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය, මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කෝට්ටේ රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් සහ මහා සංඝරත්නය ප්‍රධානත්වයෙන් පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.