Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2023 15:18:34 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2 සංඥා බලසේනාව නවතමයෙන් ස්ථාපනය කරයි.

ශ්‍රී ලංකා සංඥා බලකාය යටතේ නවතමයෙන් ස්ථාපනය කරනු ලැබූ 2 සංඥා බලසේනාව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2 සංඥා බලසේනාව මගින් යුද්ධ හමුදාවේ සංග්‍රාමික සහ සංග්‍රාමික නොවන මෙහෙයුම් සඳහා විද්‍යුත් සංග්‍රාමික, සයිබර් තාක්‍ෂණික කටයුතු සහ කෘතිම බුද්ධිය, මෙහෙයුම් සහ තොරතුරු මෙහෙයුම් ඵලදායී ලෙස සැලසුම් කිරීම, සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය සිදුකරනු ලබයි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිතුමන් සහ නව 2 සංඥා බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා එම රණවිරුවන් වෙත සිය ගෞරවචාරය පුද කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ සියළුම සම්භාවනීය අමුත්තන් 2 සංඥා බලසේනාවේ සමාරම්භක කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාව වෙත කැටුව යන ලදී.

උත්සව කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබූ අතර, 2 සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.කේ.ඩී අධිකාරි යූඑස්පී විසින් නව සංඥා බලසේනාව පිහිටුවීම පිළිබඳව හා එහි කාර්ය භාරය පිළිබඳ සවිස්තරාත්මකව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී සියළුම නිළධාරීන් සමගින් සමූහ ඡායාරූපයක් සඳහා පෙනි සිටිනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සංඥා බලකායේ භටපිරිස් විසින් එහිදී චීන ප්‍රදානයක් ලෙස තිළිණ කරන ලද ඉලෙක්ට්‍රෝණික යුධ උපකරණවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද එහිදී විස්තරාත්මකව පැහැදිලි කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කර විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක් ද තැබීය.

තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූ එතුමන් එම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ සංඥා බලකායේ බලකාධිපතිතුමන් අතර, සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ අතර, එහිදී ශ්‍රී ලංකා සංඥා බලකා රග්බි ඉතිහාස ඇතුලත් ග්‍රන්තයේ මංගල පිටපත ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීම සිදු විය.

උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.